උප ජනාධිපතිවරයෙක් රැගත් ගුවන් යානක් අතුරුදන් වෙයි

මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සෝලෝස් චිලීමා ගමන් ගත් ගුවන් යානය අතුරුදන් වී තිබෙනවා.

උප ජනාධිපතිවරයා ඇතුළු තවත් පුද්ගලයන් 9 දෙනෙකු මෙම යානයේ ගමන් ගෙන ඇති බවයි එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ.

ජනාධිපතිවරයා මලාවි ආරක්ෂක බලකායේ ගුවන් යානයකින් දින කිහිපයකට පෙර මියගිය හිටපු කැබිනට් අමාත්‍ය රැල්ෆ් කසම්බරාගේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා යමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යානය මලාවි රාජ්‍යයේ අගනුවර වන ලිලොන්ග්වේ සිට පෙරවරු 9:17ට පමණ පිටත්ව ගොස් ඇති අතර මිනිත්තු 45 කට පසුව මසුසු ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබැස්සවීමට නියමිතව තිබුනා.

කෙසේ වෙතත් අයහපත් කාලගුණය හේතුවෙන් යානය ගොඩබෑමකට උත්සාහ නොකරන ලෙසත් ආපසු හැරෙන ලෙසත් රජය අනතුරු අඟවා ඇති අතර යානය ලිලොන්ග්වේ අගනුවරෙන් පිටත් වූ පසු රේඩාර් පද්ධතියෙන් ඉවත් වූ බවයි එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ

ගුවන් යානය රේඩාර් පද්ධතියෙන් ක්‍රියා විරහිත වූ දා සිට ඒ සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමට ගත් සියලු උත්සාහයන් මේ වන විට අසාර්ථක වී තිබෙනවා.

මෙම ගුවන් යානය ඇති ස්ථානය සොයා ගැනීම සඳහා වහාම සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් සිදු කරන ලෙසට ජාතික සහ පළාත් පාලන ආයතනවලට ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබෙනවා.

එසේම යානය සොයා ගන්නා තෙක් මෙහෙයුම අඛන්ඩව සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

කෙසේ වෙතත් යානය අතුරුදන් වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ

menu
menu