නලින් බණ්ඩාරගේ රථය ගැටුණු 22 හැවිරිදි තරුණයා මරුට

සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර මහතා ගමන් කළ ජීප් රථයේ ගැටී අනතුරට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තරුණයා ඊයේ (11) මියගොස් තිබෙනවා.
තිහාරිය - කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් වන ශානුක රවිඳු නමැති එම තරුණයා, අනතුර හේතුවෙන් දින 08ක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවුණා.
එම අනතුරින් ශානුකගේ හිසට බරපතළ තුවාල සිදුව තිබු සඳහන්.
ඒ අනුව ඔහුට දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරතවන්නට සිදුවුණා.
කෙසේ වෙතත් ඔහුගේ මොළය මිය ගොස් ඇති බවට වෛද්‍යවරු විසින් තහවුරු කිරීමත් සමග ශානුකගේ වකුගඩු, අක්මාව ඇතුළු ශරීර අවයවයන් දන්දීමට ඔහුගේ භාරකරුවන් කැමැත්ත පලකර තිබුණා.
ඒ අනතුරට පෙර සිටම මරණකරු අවයව දන්දීමට කැමැත්තක් ඇති බවට ප්‍රකාශ කර තිබීම හේතුවෙන්.
ඒ අනුව එම තරුණයාගේ අවයව ඊයේ රාත්‍රී කාලය වන විට ඉවත්කර තිබෙනවා.
අනතුරුව තවත් ජීවිත තුනක් ජීවත්කරවීම සඳහා එම අවයව බද්ධකිරීම් සිදුකර ඇති බවද වාර්තා වනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ගමන්ගත් ජිප් රථය මෙම තරුණයා ගමන්කරමින් තිබුණු යතුරුපැදියේ ගැටී තිබුණේ පසුගිය 03 වැනිදා කෝන්ගස්දෙනිය හංදිය අසල දීයි.
එම අනතුරින් මන්ත්‍රීවරයාට හෝ එහි ගමන් ගත් කිසිවකුට තුවාල සිදු නොවූ අතර යතුරු පැදිය පැදවූ එම තරුණයා පමණක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබුණා.
කෙසේ වෙතත් දින 08ක දැඩි සටනකින් පසු 22 හැවිරිදි ශානුක සිය අවයවවලින් තවත් ජීවිත 03ක් ජීවත් කර සඳහටම සමුගෙන තිබෙනවා.
menu
menu