පොලිසියෙන් දෙමාපියන්ට දැනුම්දීමක්

දරුවන් පාලනය කිරීමට නොහැකි අවස්ථාවකදි පොලිසියේ සහය ලබා ගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසයි.

මාධ්‍ය ප්‍රකාශකවරයා එලෙස සදහන් කරමින් කියා සිටියේ දරුවන් පාලනය කිරීම සඳහා දැඩි ක්‍රමවේද අනුගමනය කිරීමෙන් වින්දිතයෙකු බවට පත්වීමට ඉඩ ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කළේ කල්මුණේ ප්‍රදේශයේ ළමා නිවාසයක සිටි දරුවෙකු ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව අදහස් දක්වමිනි.

කල්මුණේ ප්‍රදේශයේ පරිවාස ළමා නිවාසක සිටි 17 හැවිරිදි දරුවෙකු මියයාම සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් එහි පාලිකාව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

කල්මුණේ ඉස්ලාමාබාද්හි පිහිටි පරිවාස දෙපාර්තමේන්තු ළමාරක්ෂක නිවාසයේ රඳවා සිටි මෙම දරුවා නොවැම්බර් 30 වනදා අලුයම් කාලයේ සිහිසුන්ව කාමරයක වැටී සිටින බවට කල්මුණේ පොලිසියට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව පොලිස් නිලධාරින් වහාම එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී දරුවා මිය ගොස් ඇතැයි තහවුරුවී තිබුණි.

දරුවාගේ ඥාතීන් මරණය පිළිබඳ සැක පළකළේ මියගිය දරුවාගේ සිරුරෙහි වූ තුවාල කිහිපයක් නිරීක්ෂණය වීම හේතුවෙනි.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරියාවරයාගේ නිගමනය වූයේ මොට ආයුධයකින් පහරදිම නිසා දරුවාගේ සිරුරේ තුවාල හටගෙන තිබූ අතර අභ්‍යන්තර තුවාල හේතුවෙන් මරණය සිදුව ඇති බවය.

ඒ අනුව මනුෂ්‍ය ඝාතනයකට අදාළව ළමාරක්ෂක නිවාසයේ ප්‍රධාන පාලිකාව ඊයේ කල්මුණේ පොලිස් ස්ථානයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගැණුනි.

ඇය ත්‍රිකුණාමලයේ පදිංචි කාන්තාවකි.

ඝාතනය ලක්වූ ඒ.ටී දර්ශන නැමැති 17 හැවිරිදි දරුවා මඩකලපුව ප්‍රදේශයේ කෝවිලක භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නොවැම්බර් 16 වැනිදා අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පරිවාස භාරයට පත්කර තිබුණි.

ඔහු පසුගිය දින කිහිපය පුරා මුරණ්ඩු ආකාරයට හැසිරී ඇති නිසා එය නතර කිරීමට තමන් පහරදුන් බව පාලිකාව පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.

menu
menu