1970 ලව් ස්ටෝරි පෙබරවාරි 09 සිට දිවයින පුරා

නිකිණි වැස්ස චිත්‍රපටය සමඟ ප්‍රේක්ෂක ආදරය දිනාගත් සිනමා අධ්‍යක්ෂක අරුණ ජයවර්ධනගේ නවතම සිනමා අධ්‍යක්ෂණය "1970 ලව් ස්ටෝරි" එළඹෙන පෙබරවාරි 09 වනදා සිට දිවයින පුරා සිනමාහල් වලදී තිරගත වේ.

70 දශකයේ එක් කාල වකවානුවකදී සොඳුරු සීතල කඳුකරයේ තේ වතු ආශ්‍රිත සුවිසල් බංගලාවක චිත්‍රපටයක් රූගත කිරීමේදී එම කණ්ඩායමට මුහුණපෑමට සිදුවූ අද්භූතජනක සිදුවීම් මාලාවක් මත ගලායන සොඳුරු ආදර කතාවක් මෙයට පාදකව ඇත. ත්‍රාසය, භීතිය, කුතුහලය හා අනුවේදනීයත්වය කැටි වූ ක්ලිෆර්ඩ්, ෂෙරින් සහ රෙජිනෝල්ඩ් යන චරිත මූලික කර ගත් ‘1970 ලව් ස්ටෝරි’ සිනමාපටය අතිශය රමණීය වූ සොඳුරු සිනමා නිර්මාණයකි.

මෙම සිනමා නිර්මාණයේ රංගනයෙන් හේමාල් රණසිංහ, ගම්‍යා විජේදාස, අශාන් ඩයස් , සඳනි ප්‍රනාන්දු, බිමල් ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, දිනෙත් ද සිල්වා, සරත් කොතලාවල, සමන් හේමරත්න, අසංග පෙරේරා, නන්දන හෙට්ටිආරච්චි, දයා වයමන්, සුනෙත් මැල්සිරිපුර ඇතුළු රංගනශිල්පීන් රැසක් දායකව ඇත.

ගීත ගායනයෙන් සුරේන්ද්‍ර පෙරේරා, සමිතා මුදුන්කොටුව, ඉන්දික රුවන් (රූනි) හා සූර්යා දයාරුවන් ද ,

ගී පද රචනයෙන් ශෙහාන් ගලහිටියාව, දුමින්ද අලහේන්ද්‍ර සමගින් පූජ්‍ය කුට්ටිකුලමේ පේමාලංකාර හිමි ද,

ගී තනු නිර්මාණයෙන් චින්තක ජයකොඩි, තිළිණ රුහුණගේ සහ මංගල ගලප්පත්ති ද එක් වූ

මෙහි සංගීත අධ්‍යක්ෂණය චින්තක ජයකොඩිගෙනි.

කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය, සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර, වර්ණ සංයෝජනයෙන් අසංක වික්‍රමසිරි , අංග රචනයෙන් සමරසිරි කඳනගේ, කලා අධ්‍යක්ෂණයෙන් සුනිල් ප්‍රේමරත්න, සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද ඩී. මඩවල සමගින් ඉඳුනිල් දැරණියගල ද, රේඛීය නිෂ්පාදනයෙන් ඒශාන් ඒකනායක සහ නිෂ්පාදන කළමනාකරණයෙන් අසංග පෙරේරාත්, සටන් අධ්‍යක්ෂණයෙන් වසන්ත කුමාරවිල සහ නර්තන වින්‍යාසයෙන් ගයාන් ශ්‍රීමාල් ද එක් වූ

‘1970 ලව් ස්ටෝරි’ ආචාර්ය සමන් එදිරිසිංහගේ නිෂ්පාදනයකි.

menu
menu