කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිවේදනයක්

රජය නියම කර ඇති මිල ගණන් යටතේ වී මිලදී නොගන්නා ව්‍යාපාරිකයින් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය පැවසුවේ, මෙවර මහ කන්නයේදී කුඩා හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන්, වී එකතුකරන්නන් සහ වී ගබඩා අයිතිකරුවන් මගින් ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

ඒ සඳහා ව්‍යාපාරිකයින්ට රජය විසින් සහන පොලී අනුපාතයක් මත රාජ්‍ය හා වානිජ බැංකු කිහිපයක් මගින් ණය මුදලක් ලබා දීමට කටයුතු යොදා ඇති අතර ගොවීන්ටද වාසිදායක වන පරිදි අවම වී මිල ගණන් ද ප්‍රකාශයට පත් කර තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම්දී ඇත්තේ, එසේ තිබියදීත් අදාළ ව්‍යාපාරිකයින් රජය අනුමත ණය මුදල් ලබාගෙන ගොවි ජනතාවගේ වී තොග රජය නියම කර ඇති අවම මිල ගණන් යටතේ මිල දී ගැනීම නොකරන්නේ නම් ඔවුන් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බවයි.

රජය විසින් වී මිල දී ගැනීමේ වැඩපිළිවෙළ සඳහා රුපියල් කෝටි 900ක මුදලක් සහන පොලී අනුපාතයක් යටතේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ සහල් මෝල් හිමියන්, වී එකතුකරන්නන් සහ වී ගබඩා අයිතිකරුවන් වෙත ලබා දීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

menu
menu