ලොකු ලූනුවලින් කෝටි 8,000ක අයුතු ලාභයක්  

2023 වසරේ දී මෙරටට බී ලූනු ආනයනය කළ ව්‍යාපාරිකයින් රුපියල් කෝටි 8,000ක පමණ අයථා ලාභයක් ලබාගෙන ඇති බවට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබේ.

එම කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා අද (01) පාර්ලිමේන්තුවේදි ඊට අදාළ වාර්තා ඉදිරිපත් කරමින් මේ පිළිබඳ කරුණු පැහැදිලි කළේය.

මේ අතර, ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදයම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් රජයට රු.බි. 1,066ක් එකතු කළ යුතු හිඟ බදු පවතින බවද පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මේ වසරේ ජනවාරී පළමු වැනිදා වැට් බදු වැඩි කිරීම සිදුකළේ රු.බි. 600ක් රජයට එකතු කර ගැනීමේ අරමුණෙන් බවත්, පසුගිය අවුරුදු පහ තුළ ඉහත ආයතන විසින් එකතු කර නොගත් බදු ආදායම් ප්‍රමාණය රු. බි. 656ක් බව ද පාර්ලිමේන්තුව අමතමින් පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

කෝටි 100ට වැඩි බදු පැහැර හැර ඇති ප්‍රමාණය 92ක් බවත්, කෝටි 50-100 අතර 104 දෙනෙකු සිටින බවත්, මිලියන 300-400 අතර 57 දෙනෙකු සිටින බවත්, මිලියන 50 -100 අතර 630 දෙනෙකු සිටින බවත් මිලියන 10 - 50 අතර 3108 දෙනෙකු සිටින බව ද සඳහන් කළ පාඨලී චම්පික රණවක මහතා, රුපියල් කෝටියකට වඩා බදු පොලු තැබූ 4,479 දෙනෙකුගෙන් අදාළ බදු ආදායම් අය කර නොගෙන රටේ සමස්ත ජනගහනයෙන් කිරිපිටි, සීනි, වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන ඇතුළු සියලු දේ සඳහා වැට් බදු අය කිරීම යුක්ති සහගත නොවන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එහිදී ආනයන අපනයන ගැන ද කතා කළ පාඨලී චම්පික රණවක මහතා 2023 දී රු. 92ට ගෙන්නවන ලද බී ලූනු කිලෝවක් ඔරුගොඩවත්තේදී රු. 365කට අලෙවි කොට ඇති බවත් ඒවා පාරිභෝගිකයා අතට පත්වනවිට කිලෝවක මිල රු. 700කට ආසන්න වන බව ද පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නේය.

අර්තාපල් කිලෝවක් රු. 110කට ගෙන්වා ඇතත් ඒවා අලෙවි කොට ඇත්තේ රු. 840කට බව ද පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඒ භාණ්ඩ ආනයනය කළ ව්‍යාපාරිකයන් කිහිපදෙනා දළ වශයෙන් ලබා ඇති ආදායම කෝටි 8,000ක් බවද ඒ අයථා ලාභ ලැබූ අයට බදු අය නොකොට ඇති බව ද ප්‍රකාශ කළ අතර, එවැනි ආනයනය කරන ලද භාණ්ඩ ලැයිස්තුවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සභාගත කළේය.

menu
menu