ලෝක ඔටිසම් පිළිබඳ දැනුවත් කිරීමේ දිනය - අප්‍රේල් 2  

ලෝක ඔටිසම් පිළිබඳ දැනුවත් කිරීමේ දිනය ලෙස සෑම වසරක ම අප්‍රේල් 2 වන දින ජාත්‍යන්තර ව පිළිගනු ලබන අතර, ඊට සමගාමී ව ලොව පුරා ඔටිසම් වර්ණාවලි ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳ ව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සාමාජික රටවල් දිරිමත් කිරීම සිදු වේ. ඒ අනූව, ඔටිසම් රෝගයෙන් පීඩාවට පත් වූවන් සම්බන්ධ පර්යේෂණ, රෝග විනිශ්චය, ප්‍රතිකාර සහ සමාජ පිළිගැනීම වැනි අංශ සඳහා උපකාර කිරීමට සහ දැනුවත් කිරීමට ලොව පුරා සිටින විවිධ ඔටිසම් ක්‍රියාකාරී සංවිධාන වඩාත් උද්යෝගී ව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

ඔටිසම් වර්ණාවලි ආබාධය (Autism Spectrum Disorder) යනු මොළයේ වර්ධනයට සම්බන්ධ තත්ත්වයක් වන අතර එය පුද්ගලයෙකු අන්‍යයන් පිළිබඳ සංජානනය කරන ආකාරය හා සමාජගත වන ආකාරය කෙරෙහි බලපාමින් සමාජ අන්තර්ක්‍රියා සහ සන්නිවේදනයේ ගැටළු ඇති කරයි. මෙම ආබාධයට සීමිත හා පුනරාවර්තන හැසිරීම් රටා ද ඇතුළත් වේ. ඔටිසම් වර්ණාවලි ආබාධයේ "වර්ණාවලි" යන යෙදුම මඟින් මෙහි පවතින පුළුල් පරාසයක පැතිරුණු රෝග ලක්ෂණ සහ රෝගයේ බරපතලකම අදහස් කරයි. “ඔටිසම් වර්ණාවලි ආබාධය” යන නව යෙදුම යටතට ඊට පෙර වෙන් වෙන් වශයෙන් සලකනු ලැබූ රෝග තත්වයන් කිහිපයක් ඇතුළත් වී ඇත. ඒවා නම් ඕටිසම්, ඇස්පජර්ගේ සින්ඩ්‍රෝමය, ළමා විය විඝටන ආබාධය සහ නිශ්චිත නොවන ආකාරයේ පැතිරුණු සංවර්ධන ආබාධය යන රෝග තත්ත්වයන් වේ. ඔටිසම් වර්ණාවලි ආබාධය ඇති වීම සඳහා බොහෝ අවස්ථාවන්හි දී ජානමය සහ පාරිසරික සාධකවල සංකීර්ණ සංයෝජනයක් සම්බන්ධ විය හැකි ය.

සාමාන්‍යයෙන් ඔටිසම් වර්ණාවලි ආබාධය මුල් ළමාවියේ දී ආරම්භ වන අතර සමාජ ක්‍රියාකාරීත්වයේ (උදාහරණයක් ලෙස සමාජීය වශයෙන්, පාසලේ දී සහ රැකියාවේ දී) ගැටළු ඇති කරයි. බොහෝ විට දරුවන් පළමු වසර තුළ ඔටිසම් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සාමාන්‍යයෙන් සිදු වේ. නමුත් ඇතැම් දරුවන් පළමු වසර තුළ සාමාන්‍යයෙන් වර්ධනය වන බව පෙනෙන අතර, ඔවුන් තුළ ඔටිසම් රෝග ලක්ෂණ වර්ධනය වන විට වයස මාස 18 ත් 24 ත් අතර දී ප්‍රතිගාමී කාල පරිච්ඡේදයක් හරහා ගමන් කරයි.

ඔටිසම් වර්ණාවලි ආබාධ සහිත සෑම දරුවෙකුට ම තමාට ම අනන්‍ය වූ හැසිරීම් රටාවක් සහ රෝගයේ බරපතලකමේ මට්ටමක් (අඩු ක්‍රියාකාරීත්වයේ සිට ඉහළ ක්‍රියාකාරීත්වය දක්වා) තිබිය හැකි ය. සමහර දරුවන් මුල් ළමාවියේ දී අක්ෂි සම්බන්ධතා අඩුවීම, ඔවුන්ගේ නමට ප්‍රතිචාරයක් නොමැතිකම හෝ රැකබලා ගන්නන් කෙරෙහි උදාසීනත්වය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. අනෙකුත් දරුවන් ජීවිතයේ මුල් මාස කිහිපය හෝ වසර කිහිපය තුළ සාමාන්‍යයෙන් වර්ධනය විය හැකි නමුත් පසුව හදිසියේ ම ඉන් ඉවත් වීමට හෝ ආක්‍රමණශීලී වීමට හෝ ඔවුන් දැනටමත් ලබාගෙන ඇති භාෂා කුසලතා නැති වී යාමක් පෙන්වනු ලබයි. ඔටිසම් වර්ණාවලි ආබාධ සහිත සමහර දරුවන්ට ඉගෙනීමේ අපහසුතා ඇති අතර සමහරුන්ට සාමාන්‍ය බුද්ධියට වඩා අඩු බුද්ධියක් ඇත. මෙම ආබාධ සහිත අනෙකුත් දරුවන්ට සාමාන්‍ය සහ ඉහළ බුද්ධියක් ඇති අතර ඔවුන් ඉක්මනින් ඉගෙන ගන්නා නමුත් එදිනෙදා ජීවිතයේ දී ඔවුන් දන්නා දේ සන්නිවේදනය කිරීමට සහ අදාළ කර ගැනීමට සහ සමාජ තත්ත්වයන්ට හැඩ ගැසීමට අපහසු වේ.

මේ අනූව, එක් එක් දරුවා තුළ ඇති රෝග ලක්ෂණ තමාට ම අද්විතීය වන නිසා, සමහර අවස්ථාවල රෝගයේ බරපතලකම තීරණය කිරීමට අපහසු විය හැකි ය. එය සාමාන්‍යයෙන් පදනම් වන්නේ දරුවාගේ දුර්වලතා මට්ටම සහ ඒවා දරුවාගේ සාමාන්‍ය ලෙස ක්‍රියා කිරීමේ හැකියාවට බලපාන ආකාරය මත ය.

කෙසේ නමුත්, පූර්ව රෝග විනිශ්චය ඔටිසම් සහිත ළමුන් සඳහා සැලකිය යුතු වඩා හොඳ ප්‍රතිඵල සමඟ සම්බන්ධ වී ඇති බව පර්යේෂණ සාධක මඟින් පෙන්නුම් කරයි. එලෙස දරුවෙකුට පූර්ව අවස්ථාවක ම රෝග විනිශ්චය කරන විට වඩාත් ඉක්මනින් විශේෂිත ප්‍රතිකාරාත්මක මැදිහත්වීම් තුළින් ප්‍රතිලාභ ලැබීමට අවස්ථාව හිමි වේ. මේ සඳහා දරුවාගේ වයස සහ සංවර්ධන තත්ත්වය අනුව වෙනස් වන චර්යාත්මක, මනෝ සමාජීය, අධ්‍යාපනික, වෛද්‍ය සහ අනුපූරක ප්‍රතිකර ප්‍රවේශයන් රාශියක් පවතී. ප්‍රතිකාරයන් තුළ සාමාන්‍යයෙන් අවධානය යොමු කරන්නේ සන්නිවේදන, ක්‍රීඩා, සාමාජීය, ශාස්ත්‍රීය, ස්වයං රැකවරණය සහ ප්‍රජා ජීවන කුසලතා ගොඩනැගීම සහ අභියෝගාත්මක හෝ ගැටළුකාරී හැසිරීම් ඇතිවීම අඩු කිරීම සම්බන්ධව යි. එබැවින් නොපැකිලි ව සහ විධිමත් ලෙස ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත් වේ.

ලෝක ඔටිසම් පිළිබඳ දැනුවත් කිරීමේ දිනය ඔටිසම් රෝගයෙන් පෙළෙන පුද්ගලයන් සමඟ හොඳ සබඳතා සවිමත් කිරීමට හොඳ ම දිනය යි! එම නිසා මෙම තත්ත්වය ඇති පුද්ගලයින්ගේ ගතිලක්ෂණ පිළිබඳ අපගේ අවබෝධය වැඩි කර ගැනීමට, කරුණාව ප්‍රවර්ධනය කිරීමට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට අපි සැවොම අපට හැකි පමණින් දායක වෙමු.

menu
menu