ලෝක රූ රැජිණ කිරුළ තායිලන්තයට - අපේ අනුදිටත් ඉහළම පිළිගැනීමක්

2025 ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළඳීමට තායිලන්තයේ ඔපල් සුචාටා චුංශ්‍රී ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදී පැවති 72 වැනි ලෝක රූ රැජින තරඟාවලියේ අවසන් මහා තරඟයට එක්ව සිටි ලොව පුරා රූප රාජිනියන් සියයකට අධික පිරිසක් අතරෙන්.

කිරුළ දිනා ගත් 21 හැවිරිදි තරුණියක් වූ ඔපල් සුචාටා චුංශ්‍රී ජාත්‍යන්තර සබඳතා ශිෂ්‍යාවක් සහ නිරූපිකාවක් වනවා.

ඇය කාන්තාවන්ගේ සෞඛ්‍ය දැනුවත්භාවය කෙරෙහි ඇති විශ්වාසය, කරුණාව සහ කැපවීම හේතුවෙන් මෙවර තරඟයේ කැපී පෙනෙන චරිතයක් වුණා.

2024 වසරේදී තායිලන්තේ රූ රැජින කිරුළ දිනාගනු ලැබූ ඔපල් සුචාටා 2024 විශ්ව රූ රැජින තරඟාවලියේදීද තෙවන ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

ඇය දැනට ජාත්‍යන්තර වැඩසටහනක කොටසක් වන තම්මාසාට් විශ්වවිද්‍යාලයේ දේශපාලනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් හදාරමින් සිටින බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඇය ත්‍රිභාෂා දක්ෂතාවයකින් යුත් තරුණියක්.

මෙම තරඟාවලියෙන් ඉතියෝපියාවේ හැසෙට් ඩෙරේජ් පළමු අනුශූරතාව දිනා ගත් අතර, පෝලන්තයේ මාජා ක්ලජ්ඩා දෙවන අනුශූරතාව දිනා ගැනීමට සමත් වුණා.

මෙම තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ අනුදි ගුණසේකරද තරඟාවලිය පුරා සුවිශේෂී අවධානයක් දිනා ගැනීමට සමත් වුණා.

ඒ මෙම තරඟාවලියේදී ඇය ප්‍රදර්ශනය කළ සුවිශේෂී හැකියාවන් හේතුවෙන්. පැවති තරඟවලින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අනුදි ගුණසේකර සමත් වූයේ හෙඩ් ටු හෙඩ් සහ මල්ටිමීඩියා අංශවල අවසන් වටයන් සඳහා සුදුසුකම් ලබාගනිමින්.

කෙසේවෙතත් අනුදි ගුණසේකරට අවසන් 40 දෙනා අතරට පිවිසීමේ හැකියාව අහිමි වුණා.

තරඟාවලියේ මුල් අදියරේදී ඇය ඉදිරිපත් කළ කතාවක් ධම්මපදයේ පාඨයක් ඇසුරෙන් ආරම්භ කිරීම මෙවර තරඟාවලියේ සුවිශේෂී අවස්ථාවක් ලෙසයි බොහෝ විචාරකයින් පෙන්වා දී තිබුණේ.

මෙවර ලෝක රූ රැජින තරඟාවලිය සඳහා සහභාගී වූ තරඟකාරිණියන් මහද්වීප 4කට බෙදා එක් එක් මහද්වීපයෙන් අවසන් වටයට තරඟකාරිනියන් 10 දෙනෙකු බැගින් තෝරා ගැනුණා. එම මහාද්වීප වෙන්කර තිබුණේ අමෙරිකා සහ කැරබියානු, යුරෝපා, අප්‍රිකා, ආසියා සහ ඔෂනියා ලෙසයි.

menu
menu