ට්‍රම්ප් පරිපාලනයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවරියන් 04කට සම්බාධක

ට්‍රම්ප් පරිපාලනය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවරියන් සිව් දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට කටයුතු කර තිබෙනවා.

එම විනිසරුවරියන් අමෙරිකානු පුරවැසියන්ට හා ඊශ්‍රායලයට එරෙහිව පදනම් විරහිත නඩු පැවරීම සඳහා සම්බන්ධවී ඇති බවට චෝදනා කරමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එලෙස සම්බාධක පනවා ඇත්තේ එම නඩු කටයුතුවලට සම්බන්ධ වී සිටින උගන්ඩා, පේරු, බෙනින් සහ ස්ලෝවේනියානු ජාතික විනිසුරුවරියන් සිව් දෙනෙකුට වනවා.

අමෙරිකානු රජයක් මෙම අධිකරණයේ විනිසුරුවරියන් සම්බන්ධයෙන් එලෙස පියවරක් ගෙන ඇති පළමු අවස්ථාව මෙය බවටයි සඳහන් වන්නේ.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය දේශපාලනීකරණයට ලක්වී ඇති අතර එය අමෙරිකානු පුරවැසියන්ට හා එහි හිතවත් පාර්ශ්වයන්ට පදනම් විරහිතව නඩු පවරා ඇති බවයි අමෙරිකාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

ඒ අනුව අදාළ සම්බාධක පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් රජය කටයුතු කළ බවද ඔහු පැවසුවා.

menu
menu