පොලිස් පොඩ්ඩා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා ධූරයෙන් ඉවතට

ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වූ පසුගියදා ගල්කිස්ස අධිකරණ භූමියේ පොලිස් නිලධාරියෙකු සහ නීතිඥවරයෙකු අතර ඇති වූ ගැටුමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් ඇප අයදුම් කිරීම සඳහා නඩුවට පෙනී සිටි මාතර නීතිඥ සංගමයේ නීතිඥ එම සංගමයේ විධායක කමිටු සංස්කාරක තාරක නානායක්කාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
එම සිදුවීමේදී නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාට විරුද්ධව පොලිස් කොස්තාපල්වරයාගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳ නීතිඥ තාරක නානායක්කාර මහතාට නීතිඥවරුන් පිරිසකගෙන් දැඩි විරෝධයක්ද එල්ල වූ බව පැවැසේ.
ඔහුට මාතර නීතිඥ සංගමයේ සාමාජිකත්වයෙන් මෙන්ම එහි විධායක කමිටුවෙන් ද ඉල්ලා අස් වන ලෙසට බලපෑම් එල්ල වී ඇතැයි පැවසෙයි.
නීතිඥ තාරක නානායක්කාර මහතා පැවසූවේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය නීතිඥ සංගමයේ විධායක කමිටුවට බාර දී ඇති බවයි.