වැලිගම සභාපති ඝාතනය මිදිගම රුවන්ගේ වැඩක්දැයි සැක

වැලිගම සභාපතිවරයාගේ ඝාතනය බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මිදිගම රුවන්ගේ මෙහෙයවීමෙන් සිදුවූවක් දැයි සැකයක් විමර්ශන කණ්ඩායම්වලට ඇතිවී තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් 24 වැනිදා වැලිගම ඉබ්බාවල කළ වැටලීමකදී ටී 56 ගිනි අවි 04 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගැනීම මෙන්ම මිදිගම රුවන්ට හිතවත් පිරිසකට කළ පහරදීමක් මෙම ඝාතනයට මුල්වී ඇතැයි සැකකරනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගත් ගිනි අවි 04 මිදිගම රුවන්ට අයත් බව හෙළිවී තිබුණා. එම අවි සොයා ගන්නේ මිදිගම රුවන්ගේ ඥාතියකුගේ නිවසකින්. එම ගිනි අවි සමඟ නිවෙස් හිමියාත් ඔහුගේ බිරිඳත් අත්අඩංගුවට ගෙන තිබුණා.
ගිනි අවි සොයා ගැනීමට ඔත්තුව දී ඇත්තේ සභාපතිවරයා විසින් බවට රුවන් සැකකර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සභාපතිවරයාට රුවන්ගෙන් තර්ජනයක් එල්ලවී තිබුණා. ඊට කලින්ද මිදිගම රුවන්ගෙන් තමාට තර්ජන ඇති බව සඳහන් කරමින් සභාපතිවරයා පොලිස්පතිවරයාට පවා ලිපියක් යොමුකර තිබෙනවා.