සෙව්වන්දි රටින් පැන්න බෝට්ටුව
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා යොදා ගත් බෝට්ටුව පොලිස් භාරයට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා. ඒ, යාපනය අරාළි තුඩුව මුහුදු තීරයේදීයි.
බෝට්ටු ලබාදී ඉෂාරා සෙව්වන්දිව ඉන්දියාවට පලා යාම සඳහා මඟ සැලසූ අන්තෝනිපිල්ලේ ආනන්දන් නමැත්තාට අයත් එම බෝට්ටුව “පිරියන්කා” නමින් හඳුන්වන බවයි පැවසෙන්නේ. එම බෝට්ටුව අශ්ව බල 400 එන්ජිමකින් සමන්විතයි.
මේ අතර ආනන්දන් නමැති සැකකරුගේ කිලිනොච්චිය නිවසේ සඟවා තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩද සොයාගත් බව පොලිසිය පැවසුවා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් අන්තෝනිපිල්ලේ ආනන්දන් නමැත්තාගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදීයි. බෝට්ටුව සොයා ගැනීමට සමත්වී ඇත්තේ ද එම ප්‍රශ්න කිරීම්වලදී බවයි පැවසෙන්නේ. කොළඹ - නුවර මාර්ගයේ තිහාරිය, ඕගොඩපොළ ප්‍රදේශයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් අන්තෝනි පිල්ලේ ආනන්දන් නැමැති සැකකරුගෙන් පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් සිදුකර තිබෙනවා.
මෙම සැකකරු ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලායාමට දැනට විදෙස් ගතව සිටින මොහොමත් රිස්වි නොහොත් “සිලෝන් බායි” යන පුද්ගලයාගේ උපදෙස් මත බෝට්ටු පහසුකම් ලබා දුන් බවටයි වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.

