ට්‍රම්ප්ගේ සම්බාධකවලට පුටින්ගෙන් දැඩි ප්‍රතිචාරයක්

රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ සම්බාධක සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රතිචාර දක්වා තිබේ.

ඔහු එහිදී ජනපති ට්‍රම්ප්ගේ පියවර හඳුන්වා ඇත්තේ බරපතළ කාරණයක් ලෙසය.

එහෙත් එම සම්බාධක රුසියානු ආර්ථිකයට බලපෑමක් කිරීමට තරම් ශක්තිමත් නොවන බව ජනපති පුටින් ප්‍රකාශ කර ඇත්තේ ඊට දැඩි ප්‍රතිරෝධයක් දක්වමිනි.

සම්බාධකවලින් යම් බලපෑමක් ඇතිවන නමුත් එය කැපී පෙනෙන වෙනසක් ඇති නොකරනු ඇති බව පුටින් පවසා ඇත.

එමෙන්ම එය මිත්‍රශීලි ක්‍රියාවක් නොවන බවත්, නැවත ප්‍රකෘතිමත්වීම ආරම්භ වූ රුසියානු අමෙරිකානු සබඳතා ශක්තිමත් කිරීමට සහායක් නොවන බවත් පුටින් ප්‍රකාශකර තිබේ.

ඒ වගේම නව සම්බාධක සහ ට්‍රම්ප් - පුටින් හමුව කල්දැමීම නොතකා රුසියානු නායකයා තමන් තවදුරටත් සංවාදයට සූදානම් බව වාර්තාකරුවන් හමුවේ ප්‍රකාශ කළේය.

ඕනෑම මතභේදයක් විසඳීමට, ගැටුමට වඩා සංවාදය සැමවිටම යහපත් බව පුටින්, සඳහන් කර ඇත්තේ, යුද්ධය සම්බන්ධයෙන් ද රුසියාව සැමවිට සාකච්ඡාවට සූදානම් බව ප්‍රකාශ කරමිනි.

එහෙත් යුක්‍රේනය ඉල්ලා සිටින පරිද්දෙන් අමෙරිකානු ටොමහෝක් මිසයිල රුසියාව වෙත එල්ල කළහොත් ප්‍රතිචාරය ඉතා බලගතු සහ ශක්තිමත් එකක් වනු ඇති බවත් පුටින් සඳහන් කර ඇත්තේ අනතුරු ඇඟවීමක් ලෙසිනි.

menu
menu