වෙඩික්කරු කොටු වුණේ ඩුබායි උපදෙස් අනුව ගිය නිසා

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කළේ ඩුබායි සිට ලැබුණු රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවකට බවත් ඝාතනයට පෙරාතුවම අත්පිට මුදලින් එය ඝාතකයාට ගෙවා ඇති බවත් පොලිස් විමර්ශන අංශ මේ වනවිට අනාවරණය කරගෙන තිබෙනවා.
ලසන්ත ඝාතනය කළ වෙඩික්කරු අද (26) සවස මහරගම නාවින්නේදී අත් අඩංගුවට ගැනීමත් සමග ඊට අදාල සියලු තොරතුරු විමර්ශන කණ්ඩායම් වෙත අනාවරණය වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
මිදිගම රුවන්ගේ හා චූටිගේ සමීපතම හිතවතකු විසින් ඝාතන කොන්ත්‍රාත්තුව වෙඩික්කරුට ලබා දී ඇති බවත්, ඔවුන්ගේ සහචරයකු විසින් අදාල ලක්ෂ 15ක මුදල ලසන්ත ඝාතනයට පෙරම වෙඩික්කරු අතට පත් කර ඇති බවත් මේ වනවිට හෙළි ව තිබෙනවා.
සභාපතිවරයාට වෙඩි තැබූ වෙඩික්කරු කැකිරාවේ සිට අද (26) කොළඹට පැමිණ පිටකොටුව ආශ්‍රිතව පැය ගණනක් සැරිසරමින් අයිස් නමැති මත්ද්‍රව්‍යය සොයා ඇතැයි ද හෙළි ව තිබෙනවා.
පිටකොටුවෙන් 'අයිස්' සොයාගත නොහැකිවූ තැන ඔහු බොරැල්ල සහ දෙමටගොඩ ප්‍රදේශවල ද සැරිසරා ඒවා සොයා ඇති බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අයිස් ලබාගත නොහැකිව බලාපොරොත්තු කඩවූ වෙඩික්කරු, යළි කොටුවට පැමිණ බස්රියක නැගී හයිලෙවල් පාරේ කොට්ටාව බලා ගොස් ඇති බවද වාර්තා වෙනවා.
වෙඩික්කරුගේ සැළසුම වී තිබුණේ කොට්ටාවේ මාකුඹුරෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රියක නැගී මාතර බලා යාමට බවත් එය ව්‍යවර්ථ වී ඇත්තේ ඩුබායි සිට ඔහුව මෙහෙයවූ කොන්ත්‍රාත්කරු දකුණට නොයන ලෙස දුන් උපදෙසක් නිසා බැව්ද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබුණා.
ඒ අනුව අද (26) දහවල් කොට්ටාවේ සිට බසයක නැගී මහරගම බලා පැමිණි ඔහු පැය කිහිපයක් තිස්සේ මහරගම සැරිසරමින් ගතකර ඇති බව සඳහන්.
අනතුරුව ඩුබායි සිට ලැබුණු උපදෙස් පරිදි ලසන්ත ඝාතනය කිරීමට පෙරාතුව පටන් භාවිතා කළ දුරකතනය වෙනුවට නව දුරකතනයක් මිලට ගැනීමට නාවින්නේ දුරකතන අලෙවිසලක් වෙත ගොස් තිබෙන බවද විමර්ශනවලදී හෙළිව තිබෙනවා.
වෙඩික්කරු දුරකතන අලෙවිසලින් එළියට එද්දීම රාජකාරි නිමවී බස්‍ රියකින් නිවෙස බලා යමින් සිටි බුද්ධි අංශ නිලධාරියකු ඔහුව හඳුනාගෙන ඇති බව සඳහන්.
මෙම නිලධාරියා සැණෙකින් බසයෙන් බැස සැකකරු ලුහුබඳිද්දී එය දුටු ඔහු දුවන්නට පටන් ගත් බව ද වාර්තා වෙනවා.
මෙසේ දිවයන පුද්ගලයා දුරකතන අලෙවිහළින් දුරකතනයක් සොරාගෙන පැනයන්නකු බව තේරුම්ගත් අවට සිටි පිරිස් බුද්ධි අංශ නිලධාරියාද සමග සැකකරු පසුපස හඹා ගොස් ඔහුව අල්ලාගෙන ඇති බවද විමර්ශන අංශ වෙත මේ වනවිට හෙළි වී අවසන්.
ලසන්ත ඝාතනය කළ සැකකාර වෙඩික්කරු බව පැවසෙන මොහු හමුදා සේවයේ යෙදී සිටි බවක් මෙතෙක් අනාවරණය වී නොමැති බවත් වාර්තා වන අතරේ ඔහු ප්‍රාථමික අධ්‍යාපනය පමණක් ලැබූ අයකු බවද විමර්ශන අංශ වෙත හෙළිව ඇතැයි වාර්තා වෙනවා.
menu
menu