ශ්‍රී ලංකා ක්‍රිකට් අද කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (14) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසුවේ, අද (14) පස්වරු 2.00 ට මෙම කැඳවීම සිදු කර ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මෙලෙස කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් පවතීනම් ඒ පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට යොමු කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට පසුගිය 10 වැනි දා පාර්ලිමේන්තුවේ දී සිදුකල දැනුම් දීමත් සමඟය.

එහිදී විශේෂ වාර්තා 02ක් සහ මීට පෙර කෝප් කමිටු දෙකක සිදුකළ නිර්දේශ ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා පැවසුවේය.

මීට පෙර සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සභාපතිත්වය දැරූ කෝප් කමිටුවකට සහ චරිත හේරත් මන්ත්‍රීවරයා සභාපතිත්වය දැරූ කෝප් කමිටුවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවා තිබුණි.

මේ හේතුවෙන් විගණකාධිපතිවරයා අද සාකච්ඡාවට ඉදිරිපත් කරනු ලබන වාර්තාවෙහි මීට පෙර ක්‍රිකට් ආයතනයට සිදුකළ නිර්දේශ ද ඇතුළත් විය හැකි බව කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

menu
menu