අවස්ථාව ආවම නිදහසට කරුණු කියනවා  - මහින්ද රාජපක්ෂ - 

ආර්ථිකය කඩා වැට්ටවීම හා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් නිදහසට කරුණු කීමට අධිකරණයේ දී යම් අවස්ථාවක් ලැබුණු විට ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙන බව හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමට හෝ රටේ ආර්ථිකය කඩා වැට්ටීමට කටයුතු කළ බවක් තමන් පිළිනොගන්නා බව පැහැදිලිව ප්‍රකාශ කළ යුතුව තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.

ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා ඊයේ (15) මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේය.

අයවැය පරාජය කිරීමට හේතුවක් නොමැති බවත් එහි සාධනීය ලක්ෂණ තිබෙන බවත් පක්ෂයේ කිසිවෙකුත් අයවැයට විරුද්ධව ඡන්දය දීමට බලාපොරොත්තුව නොවන බව ද ඔහු එහිදී අවධාරණය කළේය.

“පොඩි පොඩි අඩුපාඩු තිබුණත් එකට යන ගමනක දී එකට ඉන්න ඕන” යැයි ඔහුගේ ප්‍රකාශය විය.

පක්ෂ සම්මේලනය ඉතා ඉහළින්ම පවත්වන බවත් සියලු දිස්ත්‍රික්කයකවල සෑම ශාඛාවකම සාමාජිකයින් ඒ සඳහා සම්බන්ධ කර ගන්නා බවත් කී හිටපු ජනපතිවරයා එහි සියලු සංවිධාන කටයුතු බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදුකරන බව ද ප්‍රකාශ කළේය.

menu
menu