අපේ කණ්ඩායම ජාතියට අපිරිමිත ආඩම්බරයක්   - ඉන්දියානු අගමැති -  

තමන් ඇතුළු සමස්ථ ඉන්දීය ජනතාව සැමදා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමඟ සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

ඔස්ට්‍රේලියාව සමඟ පසුගිය 19 දින පැවති ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ඉන්දියාව පරාජය වීමෙන් පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, ලෝක කුසලාන තරඟාවලිය පුරාවටම ඉන්දීය කණ්ඩායමේ අධිෂ්ඨානශීලිත්වය සහ දක්ෂතාව කැපී පෙනෙන මට්ටමක පැවති බවයි.

කණ්ඩායම සුවිශේෂි ආත්මාභිමානයකින් ක්‍රීඩා කර ජාතියට අපිරිමිත ආඩම්බරයක් ගෙන දුන් බව ද අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඉන්දියාව සමග පැවැති අවසන් මහා තරගය කඩුලු 6 කින් ජය ගනිමින් ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම තමන් බව යළිත් සනාථ කරමින් 6 වැනි වරටත් ක්‍රිකට් ලෝක කිරුළ දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය පැවැත්වුණේ, අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදීයි.

ඒ, එක්ලක්ෂ තිස් දහසකට අධික ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගීත්වයෙනි.

1987, 1999, 2003, 2007 සහ 2015 යන වසරවලදී ලෝක ක්‍රිකට් කිරුළ දිනූ ඔස්ට්‍රේලියාව විජයග්‍රාහී 6 වැනි ලෝක කුසලානය තමන් සතු කර ගෙන තිබේ.

පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුතුව ඔස්ට්‍රේලියාව එකම වසරක් තුළ ලෝක ටෙස්ට් කිරුළ සහ එක්දින ක්‍රිකට් කුසලානය යන දෙකම දිනා ගැනීම විශේෂත්වයකි.

එම අවසන් මහා තරඟ ද්විත්වයේම ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය වූයේද ඉන්දියාවයි.

menu
menu