අධිකරණයට අපහාස කිරීමට එරෙහිව පියවර නොගැනීමට හේතු දක්වන්න යැයි පාවහන් සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයට මාසයක් කල් දෙයි  

අධිකරණයට අපහාස කිරීමට එරෙහිව පියවර නොගැනීමට හේතු හා විරෝධතා ඇත්නම් මාසයක් ඇතුළත ඒවා අධිකරණය හමුවේ ගොණු කරන ලෙසට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (20) ප්‍රධාන පාවහන් නිෂ්පාදන සමාගමක කළමණාකරණ අධ්‍යක්ෂවරයා ඇතුළු අධ්‍යක්ෂවරුන් පස්දෙනෙකු හා ලේකම්වරිය වෙත නියෝග නිකුත් කලේය.

මීට අදාළ අපහාස නඩුව හා මේ හා සම්බන්ධ නඩු තුනක් ඊයේ දින අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර වග උත්තරකරුවන් ඇතුළු සියලු පාර්ශව අධිකරණය හමුවේ පෙනී සිටියහ. එම සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ හා අධ්‍යක්ෂකවරුන් වන තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන්, අසංක රාජපක්ෂ, නෙලානි රාජපක්ෂ, සමාගම් ලේකම් වරුණි ද සිල්වා යන අයට මෙලෙස නියෝග නිකුත් කෙරිණි.

ඉහත සමාගම ඇතුළු සමාගම් සමූහයක අයත් සමාගම් අධ්‍යක්ෂකවරයෙකු ලෙසත් වෙනත් සමාගම් තුනක කළමණාකරණ අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කටයුතු කල සජිත් රාජපක්ෂ යන සිය සේවාදායකයා හට එම තනතුරුවල කටයුතු කිරීමට වහාම ඉඩ ලබාදෙන ලෙසට අධිකරණය විසින් ලබා දී තිබූ නියෝගය පැහැර හැර ඉහත වග උත්තරකරුවන් කටයුතු කර ඇති බවත් ඒ අනුව ඒ තුළින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවත් ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර අධිකරණයට කරුණු දක්වා තිබිණි.

ඉහත ව්‍යාපාර සමූහයේ වර්ධනයට හා මූල්‍ය සාර්ථකත්වයට සිය සේවාදායකයා විශිෂ්ට දායකත්වයක් සපයා ඇති බවත් පසුගිය වසර පහ තුළ සමාගම් සමූහයේ ලාබයෙන් 70%කට ආසන්න ප්‍රමාණයක් හා එම කාලය තුල සමාගම් සමූහය ශුද්ධ වත්කම් වලින් 55% කැපී පෙනෙන ප්‍රතිශතයක් සිය සේවාදායකයන් නියෝජනය කරන රණතුංග රාජපක්ෂ පවුලේ සමාගම් වලට අයත් බව ජනාධිපති නීතීඥවරයා අධිකරණයට කරුණු දැක්වීය.

අනතුරුව නඩුව ලබන මස 4 වැනි දින හා 15 වැනි දින නැවත කැඳවීමට විනිසුරුවරයා නියම කළේය.

ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නීතීඥ සුගත් කල්දේරා, ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතීඥ නවීන් මාරපන ඇතුළු නීතීඥ මණ්ඩලයක් අධිකරණයේ පෙනී සිටියහ.

menu
menu