මර්ජුවානා හා කොකේන් තොගයක් පැන්නීමට ගිය සහකාර රේගු අධිකාරි අත්අඩංගුවට

මර්ජුවානා හා කොකේන් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ දී බාරගැනීමට හා නිදහස් කර ගැනීමට උත්සාහ දැරීය යන සැකපිට සහකාර රේගු අධිකාරිවරයෙක් හා තවත් අයෙක් ඊයේ (21) අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම මත් ද්‍රව්‍ය, ආහාර අඩංගු ටිං වල ඇතුළත් කරමින් ශ්‍රී ලංකාව වෙත එවා ඇත්තේ ඇමරිකාවේ සිටය.

රුපියල් කෝටි හයකට අධික මෙම මත් ද්‍රව්‍ය අඩංගු භාණ්ඩ තොගය ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසුව මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

වැටලීමට ගත් මත්ද්‍රව්‍ය අතර කොකේන් ග්‍රෑම් 511 ක් හා මර්ජුවානා ග්‍රෑම් 5161 ක් ඇතුළත් බව රේගුව පවසයි.

මෙම භාණ්ඩ තොගය ඇමරිකාවේ සිට ගම්පහ ප්‍රදේශයේ කාන්තාවකගේ නමට එවා ඇති අතර ඇය විසින් ලබා දෙනු ලැබූ ලිඛිත අවසරය සමඟින් භාණ්ඩ බාර ගැනීම වෙනුවෙන් වෙනත් පුද්ගලයෙක් පැමිණ ඇත. ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙකි. ශ්‍රී ලංකා රේගුව විසින් ඔහුව අත්තඩංගුවට ගෙන තිබේ.

සැකකරු විසින් ලබා දෙනු ලැබූ ප්‍රකාශයකින් පසුව සහකාර රේගු අධිකාරිවරයා අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත. එනම් අදාළ සැකකරු රේගු බන්ධිත ගුදමක් හිමි සමාගමක සේවය කරන අතර අත් අඩංගුවට ගත් සහකාර රේගු අධිකාරිවරයා ද ඊට අනුයුක්තව සේවය කරන ලද බව සැකකරු විසින් අනාවරණය කර තිබේ.

පළමු සැකකරුගේ ප්‍රකාශය මත අදාළ සම්බන්ධතාවය ඔස්සේ සහකාර රේගු අධිකාරිවරයා භාණ්ඩ තොගය නිදහස් කර ගැනීමට උත්සාහයක් දැරුවේ ද? යන සැකය මත ඊට අදාළ විමර්ශන කටයුතු වෙනුවෙන් ඔහුව අත් අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අත් අඩංගුවට ගනු ලැබූ භාණ්ඩ හා සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදිමට නියමිත බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

menu
menu