අධිවේගී මාර්ග සේවක වර්ජනයක්  

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අධිවේගී මාර්ගවල ප්‍රවේශපත් කවුළුවල සේවය කරන නිලධාරීන් අද (22) දිනයේ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමයේ සභාපති යොහාන් හසිත මුණසිංහ මහතා සඳහන් කළේ, උදෑසන 7.00 සිට රාත්‍රි 7 .00 දක්වා එය ක්‍රියාත්මක බවයි.

මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන 11,000ක පමණ සේවකයින් පිරිසක් මෙම වර්ජනය සඳහා එක් වන බවද සභාපතිවරයා විසින් ප්‍රකාශ කර ඇත.

වැටුප් විෂමතාව ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් වැඩ වර්ජනය ක්‍රියාත්මක බව ඔහු පැවසී ය.

ප්‍රවේශ පත් නිකුත් කරන නිලධාරීන් වැඩ වර්ජනයක නිරත වුව ද අධිවේගී මාර්ගවලට වාහන ඇතුළු කිරීමට බාධාවක් නොමැති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් එල්. වී. එස්. විරකෝන් මහතා සඳහන් කළේ, මාර්ගවල ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව යොදවා ඇති බවයි.

වැඩ වර්ජනය හේතුවෙන් ප්‍රවේශ පත් නිකුත් කිරීම ද ආරක්ෂක අංශ විසින් සිදු කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

menu
menu