අධිවෙිගී මාර්ග විකුණන්නෙත් නෑ බදු දෙන්නෙත් නෑ  - ඇමති  බන්දුල ගුණවර්ධන -  

මාර්ග සංවර්ධන අධිකාරියේ එකදු සේවයකගේවත් රැකියා අහිමි වන්නේ නැති බවත්,අධිවෙිගී මාර්ග විකුණන්නේ හෝ බදු දෙන්නේ නැතැයි ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (22) පාර්ලිමේන්තුවේදි පැවසීය.


අධිවේගී මාර්ග විකුණනවා යැයි බියෙන් එහි සේවය කරන පිරිසක් ගෙන යන වර්ජනය සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එමෙන්ම රාජ්‍ය ආදායම් රජයට අහිමි කිරීම බරපතල වරදක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.


වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රවාහන අමාත්‍යවරයා පැවසුවේ,

අද දින මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් පිරිසක් වර්ජනයක් පිළිබඳ දැනුම් දී රාජකාරී කටයුතු වලින් ඉවත් වී තිබෙනවා. ප්‍රවේශපත් විකුණන යන්ත්‍ර සූත්‍ර පවා භාවිතයෙන් ඉවත් කර එම රාජ්‍ය දේපළ ඔවුන්ගේ භාරයට ගෙන තිබෙනවා. මෙම වැඩ වර්ජනය අනිවාර්යයෙන්ම දේශපාලන ක්‍රියාමාර්ගයක්. රට ඉතා අසීරුවෙන් යන අවස්ථාවක රජයට ලැබිය යුතු ආදායම් අහිමි කර තිබෙනවා. දේශපාලන අවශ්‍යතා සඳහා අධිවේගී මාර්ගය යොදා නොගන්නා ලෙසත් මෙවැනි කටයුතු නොකරන ලෙසත් ඔවුන්ට දැනුම් දුන්නා. පිරිසක් අසනීප නිවාඩු දාලා අනෙක් සේවකයන් බලහත්කාරයෙන් ඊට යොමු කර තිබෙනවා.

රාජ්‍ය දේපළ සියල්ල නැවත භාර දෙන ලෙස මෙම වර්ජකයන්ගෙන් තමා ඉල්ලා සිටින බව අමාත්‍යවරයා පැවසීය. අධිවේගී මාර්ගයට යතුරු පැදි දමා යම් කිසි අනතුරක් සිදු වුවහොත් එම වගකීම භාර නොගන්නා බවද හෙතෙම පැවසීය. රාජ්‍ය දේපළ අහිමි කරමින් මෙම පිරිස කරන තර්ජනය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් ඊට විරුද්ධව ක්‍රියාකරන බව අවධාරණය කළේය.

menu
menu