රජයේ සේවකයා දේශපාලකයාගේ බලපෑමෙන් තොර නිදහස් අයෙක් විය යුතුයි   - වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි -

අවංක රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන අතපෙවීම්වලින් තොරව කටයුතු කිරීමට නිදහස ලබාදිය යුතු බවත්, ජනතාවාදී රාජ්‍ය සේවකයන්ට මානසික වදහිංසා නොපැමිණවිය යුතු බවත්, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි

අමාත්‍යතුමිය මේ බව පැවසුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගෙන ඇති නමුත් කාලයක සිට එම ප්‍රදේශවල ජනතාව භුක්ති විඳින ඉඩම් ඔවුන්ට පවරාදීම සම්බන්ධයෙන් ඊයේ(නොවැම්බර් 23දා) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

අමාත්‍යතුමිය වැඩිදුරටත් පැවසුවේ ඇතැම් දේශපාලන නියෝජිතයන් හා දේශපාලන අධිකාරිය රාජ්‍ය නිලධාරීන් තලාපෙලා දමන නමුත් තමන් අවංකව රාජකාරි කරන රාජ්‍ය නිලධාරීන්ට ගරු කරන බවත්, එවන් රාජ්‍ය නිලධාරීන් තමන් නියෝජනය කරන දිස්ත්‍රික්කයට වැඩි වැඩියෙන් එවන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්ය

මෙහිදී අමාත්‍යතුමිය තමන් ජනතා නියෝජිතයෙන් වශයෙන් රත්නපුර දිස්ත්‍රික් ජනතාවට ණයකරුවකු යැයි තමන් සිතන බවත්, එම ණය ගෙවීම තමන්ගේ යුතුකමක් ලෙස කල්පනා කර තම සේවය උපරිමයෙන් ජනතාව වෙනුවෙන් ලබාදීමට හැකි අවංක උත්සාහය හැමවිටම දරන බවත් පැවසුවාය

රත්නපුර දිස්ත්‍රික්කය ඇතුලු දිවයිනේ සියලු ප්‍රදේශවල වන වැස්ම 32%ක් දක්වා වැඩි කිරීම වෙනුවෙන් ආර්ථීක භෝග ඇතුලු වනාන්තර වගාකිරීමට ජනතාවට සියලු උපකාර කරන බවත්, වනාන්තර ආරක්ෂා කරගත හැක්කේ ඒ අවට ප්‍රදේශවල ජනතාවට වනාන්තරයත් සමඟම සිය ආර්ථික තත්වය නඟාසිටුවීමට ක්‍රියාකළහොත් පමණක් බවත් පැවසුවාය

මෙම අවස්ථාවට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය, එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන්ති රණසිංහ මහත්මිය, රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න, වන සංරක්ෂක ජනරාල් කේ.එච්.ඒ.බණ්ඩාර යන මහත්ම මහත්මීන්ද, රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් එම කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරුද, රත්නපුර දිසා වන නිලධාරී ඇතුළු රත්නපුර ප්‍රදේශයේ අඩවි වන නිලධාරීන්, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එහි නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

menu
menu