ඇතැම් රජයේ නිලධාරීන්ගේ වැඩ නිසා රටට එන විදේශ විනිමය අහිමි වෙනවා  - කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර -

රටේ ආර්ථිකය වෙනුවෙන් විදේශ විනිමය මෙරටට ප්‍රේෂණය කිරිමට කටයුතු කරන විගමනික ප්‍රජාවට සහන සැලසීමේදී ඇතැම් ආයතනවල නිලධාරින් ඊට බාධා පැමිණවීම කණගාටුවට කරුණක් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා පවසා සිටියේ මෙරටට විදේශ විනිමය එවන විගමනික ශ්‍රමිකයින්ට ලබාදීමට නියමිත අමතර තීරු බදු සහන මෙතෙක් ලබාදීමට නොහැකි වී ඇත්තේ ද එම නිලධාරින්ගේ ක්‍රියාකලාපය නිසා බව ය.

ඔහු මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ ඊයේ, (24 දින) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති පළමු වරට ගෘහපාලික රැකියා සඳහා පිටත්වන කාන්තාවන්ගේ පවුලේ සාමාජිකයින්ට වියලි සලාක ලබාගැනීම සඳහා රු.10,000 බැඟින් වවුචර්පත් පිරිනැමීමේ උත්සවයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා,

”ආර්ථික වශයෙන් රට විශාල ලෙස ඇද වැටී තිබෙන අවස්ථාවක විදේශ රැකියාවල නිරතවන ශ්‍රමික ප්‍රජාව විදේශ විනිමය මෙරටට එව්වා. පසුගිය මාස 18ක කාලය තුළ ඩොලර් බිලියන 7.8ක් පමණ ඔවුන් මෙරටට එව්වා. අපේ සම්පූර්ණ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 38ක්. තේ, පොල්, රබර්, ඇගළුම් අපනයන කිරීමෙන්වත් රටවිරුවන් එවන විදේශ විනිමය ප්‍රමාණයට සමකරන්න බෑ. ඒ නිසා ඔවුන් වෙනුවෙන් මගේ අමාත්‍යාංශය යටතේ ඇති විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සුභසාධන පහසුකම් වැඩි කරන්න උපදෙස් ලබාදුන්නා. ඒ අනුව මේ වසර සුභසාධන වසරක් ලෙස නම් කළා. එහෙම තියෙද්දි අපි විගමනික ප්‍රජාවට තීරුබදු සහන දෙන්න ගරු ජනාධිපතිතුමාගේ අනුමැතියෙන් කැබිනට් අනුමැතියක් ගත්තා. ඒත් ඉතාම කණගාටුයි තවමත් එය ක්‍රියාත්මක කරන්න ඇමතිවරයා විදිහට මට බැරිවුණා. ඊට හේතුව එම ආයතනවල සිටින ඇතැම් රජයේ නිළධාරීන්. මේ වන විට විගමනික ශ්‍රමිකයින්ට අඩු පොලි ණය වාරික මත නිවාස ණය දෙන්න කාර්යාංශය රුපියල් බිලියන 5ක් වෙන්කරලා තියෙනවා. නමුත් තවමත් රාජ්‍ය බැංකු ඒ සඳහා සහය ලබාදෙන්නේ නෑ. ඒවා කඩාකප්පල් කරනවා. මේවට හැම නිළධාරියාම සම්බන්ධ නෑ. සීමිත පිරිසක් තමයි මේ දේවල් කඩාකප්පල් කරන්නේ.”


“විගමනික ප්‍රජාව තමයි රටට ඩොලර් එවලා මෙරට විදේශ සංචිත වැඩිකරන්නේ. ඒ නිසා තමයි පණ ඇද්ද රටට හුස්මක් ලැබුණේ. රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවන්න, තෙල්, ගෑස්, ඖෂධ ගන්න වැය කරන්නේ ඔවුන් එවූ මුදල්. හැබැයි ඒ මුදල් රටට ගෙන එන ශ්‍රමිකයින්ට සහන දෙන්න අපි යෝජනා කරනකොට ඒවා කඩාකප්පල් කරනවා. නමුත් අපි කවුරු කඩාකප්පල් කරත් අපේ වගකීම ඉටු කරනවා.”

menu
menu