රට ගොඩ ගන්න නම් නව ආයෝජකයින්ට අවස්ථාව ලබා දිය යුතුයි

රට තුළ අපනයන ආර්ථිකයක් ඇති කිරීමේදී දැනට පවතින අපනයන වැඩි දියුණු කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා නව අපනයන ක්ෂේත්‍ර කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ සඳහා නව ආයෝජකයන්ට ආරාධනා කළ යුතු අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා දීමට රජය කටයුතු කරන බව ඔහු සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, පසුගිය දා (23) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 25 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල අමතමිනි.

”අපි අපේ අපනයන ඉහළ නංවාගත යුතුයි. එහිදී අප කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කළ යුතු වෙනවා. මෙවර අයවැයෙන් ප්‍රථම වතාවට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා මුදල් ලබා දී තිබෙනවා. මෙවායේ ඵලදායීතාව ඉහළ නැංවීම වෙනුවෙන් ජාතික ඵලදායිතා කොමිෂන් සභාව වැනි ආයතන පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේ ම ඔබට සහය වන තවත් බොහෝ ක්ෂේත්‍ර තිබෙනවා. නමුත්, දැනට පවතින අපනයන ක්ෂේත්‍ර වැඩි දියුණු කිරීම පමණක් මේ සඳහා ප්‍රමාණවත් වන්නේ නැහැ. අප නව අපනයන ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා නව ආයෝජනවලට ආරාධනා කළ යුතුයි”

කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් මෙරට පිහිටුවීමට සැලසුම් කර තිබෙන බව ත් දැනට පවතින කෘෂිකාර්මික පර්යේෂණ ආයතන ප්‍රතිව්‍යුහගත කර නවීකරණය කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

”කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ද මෙරට පිහිටුවීමට අප සැලසුම් කර තිබෙන අතර දැනට පවතින කෘෂිකාර්මික පර්යේෂණ ආයතන ප්‍රතිව්‍යුහගත කර නවීකරණය කිරීමට කටයුතු කරනු ලබනවා. මේ සඳහා ඔබට ත් සහය විය හැකියි. මෙම කටයුතු සමග අප ඉදිරියට යමු කියා සියලු දෙනාට ආරාධනා කරනවා”

menu
menu