ජනපති රනිල් දිවයිනෙන් පිටව යයි

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතය.

මෙම සමුළුව රාජ්‍ය නායකයන්, රාජ්‍ය – පෞද්ගලික අංශ නියෝජිතයන්, පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් අද (30) සිට දෙසැම්බර් 12 වනදා දක්වා ඩුබායි එක්ස්පෝ නගරයේ දී පැවැත්වේ.

මෙවර COP 28 සමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ යෝජනා තුනක් ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්ය.

ඒ අනුව,

  • දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයක් (Climate Change university) ශ්‍රී ලංකාවේ ඇති කිරීම.
  • දියුණු රටවල ක්‍රියාකාරකම් හේතුවෙන් අපහසුතාවයට පත්වන තුන්වන ලෝකයේ රටවල් වෙනුවෙන් දේශගුණික යුක්ති සංසදයක් (Climate Justice Forum) පිහිටුවීම.
  • නිවර්තන වැසි වනාන්තර වෙනුවෙන් සංසදයක් (Tropical Belt Forum) පිහිටුවීම.

යන යෝජනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් COP 28 සමුළුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙවර සමුළුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් තිදෙනෙකු සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සහභාගී වේ.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට රජයේ වියදමකින් තොරව තරුණ නියෝජිතයින් විසිදෙනෙකු සහ බලශක්ති හා පරිසර ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් හා මාධ්‍ය කණ්ඩායමක් ද සහභාගී වීමට නියමිතය.

menu
menu