ජනාධිපතිවරයාගේ ඒකාධිපති පාලනයට විරුද්ධව විපක්ෂය එකාමෙන් පෙළගැසෙන්න සූදානම් - පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් -  

උදාවෙන 2024 අවුරුද්ද යනු මැතිවරණ වර්ෂයක් වන අතර එම වසරේ ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බවට දැනටමත් ප්‍රකාශ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කලේය.

මන්ත්‍රීවරයා විසින් මෙම අදහස් දැක්වූයේ අද නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

මන්ත්‍රී ජී.එල්. පීරිස් මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මැතිවරණ කාල සීමා තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුතු අතර ඒ බව ජාත්‍යන්තරයෙන් පවා දන්වා ඇති බවය.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල කොදුනාරටිය වන්නේ ව්‍යවස්ථා සභාව බවත්, මැතිවරණ කාලවලදී ව්‍යවස්ථා සභාවේ ස්වාධීන ක්‍රියාකලාපය අතිශය වැදගත් වන බව ද මන්ත්‍රී ජී.එල්. පීරිස් විසින් පෙන්වා දෙන ලදී.

මෙහිදී ජනාධිපතිවරයාගේ භූමිකාව පිළිබඳව අදහස් දක්වමින්,

ජනාධිපතිවරයා අත්තනෝමතිකව ව්‍යවස්ථා සභාවේ කටයුතුවලට මැදිහත් වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවත්,

එම හේතු සාධකය පදනම් කරගෙන ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට අවස්ථාව තිබෙන බවත්,

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ජාත්‍යන්තරය මගින් ලංකාවට රතු එළි දල්වා ඇති බවත්,

සාමකාමී උද්ඝෝෂණ මර්දනය කිරීම දැඩි පිළිකුලෙන් හෙළා දකින බවත්, මන්ත්‍රීවරයා විසින් පවසන ලදී.

මහාචාර්ය ජී. එල්. පීරිස් මෙම මාධ්‍ය සාකච්ඡාවේදී මතුකල තවත් කරුණක් නම් ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කිරීම හේතුවෙන් ලංකවට GSP+ සහනය අහිමි වීමේ ප්‍රවණතාවයක් තිබෙන බව ය.

ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක හා අධිකරණ කටයුතු වලට මැදිහත් නොවිය යුතු අතර ජනාධිපතිවරයාගේ ඒකාධිපති පාලනයට විරුද්ධව විපක්ෂය එකාමෙන් පෙළගැසෙන බව ද මන්ත්‍රීවරයා අනාවරණය කරන ලදී.

menu
menu