වැල් පාලමෙන් එගොඩ වුවත් ඉදිරියේ තියෙන්නේ වංකගිරියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් සඳහන් කර ඇති කොන්දේසිවලින් ඉවත් විය හැක්කේ මෙම මාර්ගය ඔස්සේ ඉදිරියට ගොස් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (13) පාර්ලිමේන්තුවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය හිමිවීම පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, ලංකාව වැල් පාලමෙන් එගොඩ වුවත් ඉදිරියට ඇත්තේ වංකගිරියක් බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

"මම අද සභාව අමතන්නේ ලොකු සතුටකින්. දැන් අපි බංකොළොත් රාජ්‍යයක් කියන ලේබලය ගලවා ගැනීමට තීරණාත්මක පියවර අරන් තියෙන බව ඔවුන් පිළිගන්නවා. ඒ ගමනේ සංධිස්ථානයකට අපි පැමිණ ඇති බව ඔවුන් පැවසුවා. මේ අභිමානවත් ගමනට නායකත්වය ලබාදීමට හැකිවීම ගැන මා තුළ ඇත්තේ නිහතමානි සතුටක්. මම ගිය අවුරුද්දේ භාරගත්තේ බංකොළොත් රටක්. කිසිදු නායකයෙක් මේ බංකොළොත් රට භාරගන්න ඉදිරිපත් වුණේ නෑ. මේ අභියෝගය භාරගන්න හැමෝම බය වුණා. දැන් පාර්ලිමේන්තුව අමතන වීරයෝ කිසිවෙක්ට ඉස්සරහට එන්න ධෛර්යක් තිබුණේ නෑ.. මම ඒ අභියෝගය භාරගත්තා...

එදා මම කිව්වා ලංකා මාතාව අනතුරුදායක වැල් පාලමෙන් එගොඩ කරන්න කැප වෙනවා කියලා. මට තිබුණේ අධිෂ්ඨානය හා කැපවීම විතරයි. මගේ පක්ෂය නියෝජනය කරන එක මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. මේ වැල් පාලමේ ගමන ගැන සමහරු උපහාස කළා. අපහාස කළා. ඒත් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරු මට සහාය දුන්නා. ඒ අයටත් විවිධ අපහාස, උපහාස කළා. ඒ වගේම රටේ ජනතාව මට සහාය දුන්නා. ඔවුන් රට වෙනුවෙන් විවිධ අපහසුතාවයන්ට සහාය දෙමින් මේ ගමනට සහාය දුන්නා.

මම රට භාරගත් මුල් අවස්ථාවේ දී උද්ධමනය 70%ක් වුණා. පසුගිය ඔක්තෝබර් වෙද්දි එය 1.5% දක්වා පහත හෙළා ගැනීමට හැකි වුණා. මම රට භාරගද්දි රුපියල පහත වැටීම 80% දක්වා ඉහළ ගොස් තිබුණා. ඩොලරයකට රුපියල් 360ක් දක්වා රුපියලේ අගය වැඩි වුණා. දැන් එය ඩොලරයට රු 325 - 330 මට්ටමේ ස්ථාවර වී තිබෙනවා.

වැල්පාලම කියද්දි අපේ රටේ බහුතරයකට සිහියට එන්නේ, හෙන්රි ජයසේකරගේ හුණුවටයේ කතාව. ඒ නාට්‍යයේ වැල්පාලමේ ගීතය ගයමින් ගෘෂා මෙන්න මෙහෙම කියනවා. "අපට පුතේ මඟක් නැතේ - මේ මඟ මිස යමන් පුතේ..." අද අපට කියන්න තියෙන්නේ ඒ ටිකමයි. මේ මඟ මිස වෙන මඟක් අපිට නෑ. මේ මාර්ගයේ ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය. අපි ඒ සාධක දෙකම නිසි පරිදි හසුරුවා ගත්තා. ඒ නිසා අපිට යහපත් ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වුණා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය අනුමත වීම සමග අපේ රටට වාසි ගණනාවක් ඇති වෙනවා. අපේ මූල්‍ය කේෂ්ත්‍රය දැවැන්ත ශක්තියක් ඇති කරන තැන්පත් රක්ෂණයක් සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක් අපිට ලැබෙනවා. එමඟින් බැංකු සහ මුල්‍ය කේෂ්ත්‍රය 100%ක් සුරක්ෂිත වෙනවා.

එතකොට විදෙස් ආයෝජකයින්ට බියක් සැකක් නැතුව ලංකාවේ ආයෝජනය කරන්න පුළුවන්. අපේ ණයවර ලිපි දැන් නැවතත් ජාත්‍යන්තරය පිළිගන්නවා. සමහරු කතා කරනවා විතරයි. විවේචනය කරනවා විතරයි. නමුත් මම ප්‍රතිඵල පෙන්නුවා. ලෝකයෙත් ලංකාවෙත් බහුතර සහයෝගය ලබාගෙන රට ජයග්‍රාහී මාර්ගයකට ගෙනාවා. අපිට තව දිගු ගමනක් යන්න තියෙනවා.

වැල් පාලමෙන් එගොඩ වුණත් මෙතැනින් එහාට තියෙන්නේ වංකගිරියක්. හරි පාරේ ගියේ නැත්නම් අපි අතරමං වෙනවා. වල්මත් වෙනවා. මේ ගමනේ දී වැට් බද්ද ඇතුළු බදු නිසා සමාජයේ එක් කණ්ඩායමක් අසීරුතාවයට පත්වෙලා ඉන්න බව අපි දන්නවා. අපි බදු පැනවුයේ කැමැත්තෙන් නෙමෙයි. නමුත් ඒ හැර වෙනත් මඟක් අපිට තිබුණේ නෑ. IMF කොන්දේසිවලට යටත් වෙනවා නම්. රටක් පාලනය කරන්න ආණ්ඩුවක් මොකටද කියලා සමහරු තර්ක කරනවා. බලයට ආවහම IMF එකට තමන් කොන්දේසි දාන බවට ඔවුන් වාසි බස් දොඩවනවා. ඇත්තටම මේවා බොළඳ කතා. මෙවැනි කතා කියන්න පුළුවන් වෙන්නේ ආර්ථිකය ගැන මොන්ටිසෝරි දැනුමක් තියෙන අයට. මතක තියා ගන්න අපිට IMF කොන්දේසිවලින් ඉවත් වන්න පුළුවන් වන්නේ, මේ කොන්දේසි යටතේ මේ මාර්ගයේ ඉදිරියට ගොස් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා ගත්තොත් විතරයි."


menu
menu