මේ දවස්වල ලෙඩ වැඩියි පරෙස්සෙමෙන්  

කුඩා දරුවන් අතර මේ දිනවල ශ්වසන රෝග කිහිපයක් පැතිරයමින් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

පරීක්ෂණ වලට ලක්කළ ළමුන් අතරින් බහුතරයට ඉන්ෆ්ලුවෙන්සා වෛරසය වැළදී ඇති බවට හඳුනාගෙන තිබේ.

විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ කොවිඩ් රෝගීන් දෙදෙදෙනෙකු ද හඳුනාගෙන ඇති බවය.

"පසුගිය දින කිහිපය තුළ දී දරුවන් අතර, ඉහළ ශ්වසන මාර්ගයේ, රෝග කිහිපයක් පැතිරුණා. විශේෂයෙන්ම වෛරස් උණ රෝග. මෙතැනදී රෝග ලක්ෂණ විදියට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වමනය, හිසරදය වැනි රෝග ලක්ෂණ තමා අපි දැක්කේ. පරීක්ෂා කරලා බැලුවහම සමහර උණ රෝග ඉන්ෆ්ලුවෙන්සා A හෝ B. ඊට අමතරව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නම් අපි දැක්කේ නෑ. හැබැයි ළමයි දෙන්නෙක්ට කොවිඩ් පොසිටිව් වෙලා තියෙනවා. හැබැයි වැඩි දෙනෙක්ට ඉන්ෆ්ලුවෙන්සා.

ඊට අමතරව උණ රෝග ගැන කියද්දි පාචන රෝගීන් කිහිපදෙනෙක් ඉන්නවා. වමනය, බඩඑළිය යෑම, උණ හා බඩේ කැක්කුම තමා අපි දැක්කේ. වෛරස් රෝග කිහිපයක් තියෙනවා.

ඒ වගේම ළමා හතිය හා ඩෙංගු රෝගීන් අපි බහුලව දකිනවා."

වෛරස් උණ රෝගයන්ට අමතරව රටවල් කිහිපයක පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ද විවිධ රෝගාබාධවලින් පෙලෙන පුද්ගලයින් මුඛ ආවරණ පැලඳීම වැදගත් වන බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා විසින් පෙන්වා දෙන ලදී.

"රෝග ලක්ෂණ තියෙන අය, මුඛ ආවරණ තවදුරටත් පලඳින්න. ප්‍රතිශක්තිකරණය අඩු අය විශේෂයෙන් අවුරුදු 2ට අඩු දරුවෝ, අවුරුදු 60ට වැඩි වැඩිහිටියෝ, දියවැඩියා රෝගීන්, නිදන්ගත රෝග තත්ත්වයන් පවතින ශ්වසන හා පිළිකා රෝගීන් ද මුඛ ආවරණ පලඳින්න. එහෙම නැත්නම් ඒ අයට ඉන්ෆ්ලුවෙන්සා සහ කොවිඩ් වැනි රෝග පැතිරෙන්න පුළුවන්..."

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන පරිදි. ඩෙංගු රෝගීන්ගේ ද සැලකිය යුතු වැඩි වීමක් ඉදිරි කාලය තුළ අපේක්ෂා කළ හැකිය.

menu
menu