නව ජාතික ආණ්ඩුවකට සැලසුමක්

ප්‍රධාන අරමුණු කිහිපයක් මුල්කරගනිමින් නව ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට සැලසුම් සකස් වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

2024 නව වර්ෂය දේශපාලන ක්ෂේත්‍රය තුළ බොහෝ වෙනස්කම් සිදුවිය හැකි වසරක් ලෙස දේශපාලන විචාරකයින් පෙන්වාදෙයි.

ඒ අනුව, රට යළි ආර්ථිකව ගොඩනැගීම සඳහා නව ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට නියමිත අතර සියලුම පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු රැසක් ඊට එක්වීමට නියමිතව තිබේ.

මේ සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් ද එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම පිරිස ඇමති තනතුරු බලාපොරොත්තුවෙන් නව ජාතික ආණ්ඩුව සමග එක් නොවන අතර කිහිපදෙනෙකුට ඇමති තනතුරු ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

අයහපත් ආර්ථික තත්ත්වයට පිළියම් යෙදීම සාමාන්‍ය ජනතාවට සහන සැලසීම සහ රටපුරා විධිමත් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමත්, නීතිය සහ සාමය ස්ථාපිත කරමින් සියලුම ආගම් සමගියෙන් ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරීමත් එම නව ජාතික ආණ්ඩුව බිහිකිරීමේ අරමුණු වී තිබේ.

එමෙන්ම දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම, නව රැකියා අවස්ථා උත්පාදනය, විදේශ ආයෝජන සඳහා පවතින බාධා ඉවත් කිරීම, විදුලි ගාස්තු අඩු කිරීම, වැනි ක්‍රියාමාර්ග ද නව ජාතික ආණ්ඩුව හරහා ඉටුවනු ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් ජාතික ආණ්ඩු සංකල්පය පැවතිය දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලන චරිතයක් වූ ශාන් විජයලාල් ද සිල්වා මහතා ඊයේ (01) දිනයේ සමගි ජනබලවේගය හා එක්වීම මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් මතුව තිබේ.

මීට අමතරව ඉදිරියේ දී තවත් මන්ත්‍රීවරුන් විපක්ෂය හා එක්වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර එම වසරේදී මහ මැතිවරණයක් ප්‍රථමයෙන් පැවැත්වෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

දේශපාලන රැසක් මේ වන විට ඒ සදහා සූදානමින් පසුවන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ප්‍රථමයෙන් මහ මැතිවරණයක් පවත්වන ලෙස ද ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.

menu
menu