වයඹ පළාත් පාසල්වල ගුරුවරුන්ට ටියුෂන් තහනම්

වයඹ පළාත් පාසල්වල ගුරුවරුන්ට තම පන්තියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කරමින් පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

මෙම චක්‍රලේඛය 2024.01.01 දින ක්‍රියාත්මක කරන බව වයඹ ප්‍රධාන අමාත්‍යාංශ සහ වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නයනා කාරියවසම් මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.

එම චක්‍රලේඛය වයඹ පළාත් පාසල්වල සියලුම විදුහල්පතිවරුන් වෙත මේ වනවිට නිකුත් කර ඇති බවද එම චක්‍රලේඛය කඩකරමින් කටයුතු කරන ගුරුවරුන් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව නොපමාව පියවර ගැනීමට සිදුවන බවද එම නිවේදනයෙහි සඳහන් කර ඇත.

මෙම චක්‍රලේඛය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ වගකීම විදුහල්පතිවරුන් වෙත පැවරෙන බවද එහි සඳහන්ය.

ඇතැම් ගුරුවරුන් තමන් පවත්වනු ලබන පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ සඳහා සහභාගි නොවන තමන් ඉගැන්වීම් කටයුතු කරන පන්තිවල සිටින සිසුන්ව නොසලකා හරිමින් විවිධ මානසික පීඩාවන්ට ලක් කරන බවට දෙමාපියන්ගෙන් ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් අනුව මෙවැනි තීරණයක් ගැනීමට සිදුවූ බව නයනා කාරියවසම් මහත්මිය තම නිවේදනය මඟින් කියා සිටියාය.

මෙම පැමිණිලිවලට අනුව ඇතැම් ගුරුවරුන් තම රාජකාරි කාල සීමාව තුළදී පන්තියේ ඉගැන්වීම් කටයුතු නිසි පරිදි සිදුනොකරන බවද එසේ රාජකාරි මඟ හරිමින් තම පෞද්ගලික පන්ති හා සම්මන්ත්‍රණ සඳහා සහභාගි නොවන පන්තියේ සිසුන්ව නොසලකා හරිමින් විවිධ බලපෑම් එල්ල කිරීම නිසා එම සිසු දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවට වාර්තා ලැබී ඇති බවද ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

ඒ අනුව එම අවාසනාවන්ත තත්ත්වය මඟ හැර දරුවන්ට වඩාත් තෘප්තිමත් පන්ති කාමරයක් නිර්මාණය කිරීමටත් එමඟින් පරිපූර්ණ පෞරුෂත්වයකින් යුත් සිසු දරුවන් රටේ අනාගතයට බිහි කිරීමටත් මෙයින් කටයුතු කෙරෙන බව පෙන්වා දෙන කාරියවසම් මහත්මිය මෙමඟින් වයඹ පළාතේ සියලුම ගුරුවරුන්ගේ නිසි දායකත්වය ලබා ගනිමින් ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය හා අභිමානය ආරක්ෂා කරදීමත් සිදුවන බවද පවසන්නීය.

මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද 2012/37 සහ 2012/13 අංක දරන චක්‍රලේඛ වලට අදාළව පනවා ඇති මෙම නියෝගය ක්‍රියාත්මක කරන බවද එම නිවේදන⁣යෙහි සඳහන්ය.

menu
menu