දිවයිනටම ඩෙංගු සතියක්

දිවයිනම ආවරණය වන පරිදි ලබන 07 වනදා සිට විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

පවතින ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශ කරන ලදී.

ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පවත්වා ඇති අතර ඊට පොලිස් හා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, ඩෙංගු මර්දන ඒකකයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

එහිදී අද (04) සිට දිස්ත්‍රික් මට්ටමෙන් ඩෙංගු මදුරු මර්දන කමිටු ස්ථාපිත කිරීමට සහ ලබන 07 වනදා සිට දිවයිනේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල කේන්ද්‍ර කරගනිමින් ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය වී ඇති බව සඳහන් ය.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සදහා අද කැඳවා තිබු මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වු ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ 2023 වසර තුළ ඩෙංගු රෝගීන් 88,398ක් සහ මරණ 58ක් වාර්තා වී ඇති බවයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 71ක් අධි අවදානම් කලාප ලෙස හදුනාගෙන ඇති බව ඔහු පැවසීය.

එමෙන්ම, වාර්තාවන ඩෙංගු රෝගීන්ට වඩා විශාල පිරිසක් සමාජයේ සිටිය හැකි බවද ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

menu
menu