ජනපතිගෙන් රජයේ සේවකයින්ට සුබ ආරංචියක්

සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොදින් දන්නා බවත් මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (04) පැවති යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

එමෙන්ම පසුගිය වසරේ සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණය නිසා ගෙවීමට තිබූ සියලු බිල්පත් මේ වන විට ගෙවා අවසන් කර ඇති බවත් ඉදිරි කාර්තු හතර තුළ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

එසේම මෙම වසර අවසන් වන විට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන අතර, 2025 දී එය 5%ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා අනාවරණය කර ඇත.

මේ අතර මෙවර අයවැයෙන් රජයේ සේවකයින්ට ලබා දුන් රුපියල් 10,000ක දීමනාවෙන් කොටසක් ජනවාරියේ සිට ලබාදීමට නියමිත බවට මින් පෙර වාර්තා විය.

ඒ අනුව රජයේ සේවකයින්ට ජනවාරියේ සිට රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට යම් ඉඩකඩක් පවතින බව මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසනවා.

menu
menu