සෞඛ්‍ය සේවකයින් හෙට වර්ජනයක්

හෙට (16) පෙරවරු 6.30 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයක නිරත විය.

වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියේ, තම ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා කිසිදු සාකච්ඡාවක් ලබා දී නොමැති බවය.

"අද වනතුරු මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා, මේ වෘත්තීන් කිසිවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වලා නෑ. ඒ නිසා පරිපුරක වෛද්‍ය සේවාව, අතුරු වෛද්‍ය සේවාව, රෝහල් ලේකම්වරුන් සහ පරිපාලන නිලධාරින් ඒ වගේම සෞඛ්‍ය පරිපාලන සහකාරවරු සහ විශේෂයෙන් සෞඛ්‍ය කාර්ය සහයක සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ වෘත්තීය සංගම් 72ක් එකතුවෙලා ලක්ෂයකට ආසන්න සමාජිකයින් සංඛ්‍යාවක් නියෝජනය කරමින් අපි තීරණය කලා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන්න පැය 24ක.මේකෙන් රෝහල් සේවය සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. රජය තේරුම් ගත යුතුයි වෛද්‍යවරුන් සමග පමණක් වෛද්‍ය සේවාව පවතවාගෙන යා නොහැකි බව. "

එමෙන්ම, වර්ජනය මැඩපැවැත්වීම සඳහා හමුදා බලය යොදවන්නේ නම් වර්ජන ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයාමට සිදුවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා ප්‍රකාශ කළේය.

menu
menu