උසස් පෙළ තවත් ප්‍රශ්න පත්‍රයක් පිට වෙයි

ආන්දෝලනයකට තුඩු දී ඇති මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න පත්‍රය ද පිට වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට සිදු කර ඇති විමර්ශනවලදී අනාවරණය කර ගෙන තිබේ.

ඒ අනුව, කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය වන බහුවරණ ප්‍රශ්න 50කින් සැදුම්ලත් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 16ක් පිට වී ඇති බව ත් එය මුල් ප්‍රශ්න පත්‍රයෙන් ම ඡායාරූප ගෙන පිට කොට ඇති බව ත් දැනට කෙරෙමින් පවතින විමර්ශනවලදී අනාවරණය කොට ගෙන ඇත.

කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය පිට වීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ඇරඹි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (ජන. 13) සමාජ මාධ්‍ය ඔස්සේ මෙය පිට කළ අම්පාර ප්‍රසිද්ධ පාසලක කෘෂි විද්‍යා ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අම්පාර, රජවැව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි වියෙහි පසුවන අම්පාර ප්‍රදේශයේ ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙකු බවට අනාවරණය වී තිබේ.

සැකකාර ගුරුවරයා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

menu
menu