රාජ්‍ය අංශයේ විධායක නිලධාරීන් අද වර්ජනයක

රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අද (29) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කරයි.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භකර ඇති අතර අද දිනයේ දී රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සමුළුවක් පවත්වන බව එම කමිටුවේ සභාපති එච්.එල්.ඒ උදයසිරි මහතා විසින් පවසන ලදී.

"අද දවසේ රජයේ විධායක නිලධාරීන් ඒකාබද්ධ කමිටුව නියෝජනය කරමින්, මේ රටේ දීපව්‍යාප්ත සේවා සහ සමාන්තර, දෙපාර්තමේන්තු ගත සේවා, විධායක නිලධාරීන් නියෝජනය කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන්න තීරණය කළා. අද මේ රටේ දීපව්‍යාප්ත සේවා ලෙස සැලකෙන හිමිකරු සේවය, අධ්‍යාපන පරිපාලන සේවය විද්‍යාත්මක සේවය, ආයුර්වේද වෛද්‍ය සේවය, මේ රටේ මිනින්දෝරු සේවය ඇතුළු දෙපාර්තමේන්තු සේවා නියෝජනය කරමින් විධායක නිලධාරින් කොළඹට රැස්වෙලා සමුළුවක් පවත්වනවා..."

විධායක සේවයේ නිලධාරීන්ගේ නොවිසිඳුනු වෘත්තීය ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබා දිය යුතු බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සභාපති එච්.එල්.ඒ උදයසිරි මහතා සඳහන් කළේය.

menu
menu