සනත් නිශාන්තගෙන් හිස් වූ මන්ත්‍රීධූරය සඳහා නව පත් කිරීමක්

අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙන් ඇල්. කේ. ජගත් ප්‍රියංකර මහතා පාර්ලිමේන්තුවට පත්කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (30) ප්‍රකාශයට පත්කර තිබෙන අතර, පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ බව දැනුම් දී තිබෙන බවට වාර්තා සඳහන් කරයි.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසන 5ක් හිමි වූ අතර එහිදී මනාප 80082 ලබා ගනිමින් සනත් නිශාන්ත මහතා එම දිස්ත්‍රික්කයේ පළමුවැනියා බවට පත් වූයේය.

ප්‍රියංකර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, චින්තක අමල් මායාදුන්න සහ අශෝක ප්‍රියන්ත අනෙක් ආසන හතර හිමි කර ගැනීමට සමත් වු අතර එම ලැයිස්තුවේ හයවැනි ස්ථානය ජගත් ප්‍රියංකර හිමි කරගත් අතර ඔහුට ලැබුණු මනාප සංඛ්‍යාව 40527 කි.

ඒ අනුව සනත් නිශාන්තගෙන් පසු හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා මනාප ලැයිස්තුව අනුව පත් වීමට නියමිතව තිබූ ජගත් ප්‍රියංකරට මෙම මන්ත්‍රී ධුරය හිමිවූ බව සඳහන් වේ.

menu
menu