09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය හෙට

09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය හෙට (07) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ.

හෙට පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේ මුලසුන දරමින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය ජනවාරි මස 26 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සිදු කරන ලදී.

ඒ අනුව හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන 8 සහ 09 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතය.

කෙසේවෙතත් මෙවර පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය ඉතා අඩු වියදමෙන් සරල සහ චාම් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කලේ, අදාළ උත්සවය සඳහා ආචාර පෙළපාලි, ආචාර වෙඩිමුර, පෙර ගමන් රථ යනාදී විශේෂාංග කිසිවක් ඇතුළත් නොවන බවය.

කෙසේවෙතත් වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය වර්ජනය කිරීමට උත්තර ලංකා සභාගයේ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.

ඊයේ රැස්වූ උත්තර ලංකා සභාගයේ මන්ත්‍රී කණ්ඩායම මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි සඳහන් කළේය.

menu
menu