නෞකා අනතුරින් 6ක් අතුරුදන්

කොළඹ වරාය බලා එමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අමෙරිකාවේ බැල්ටිමෝ හි පාලමක ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් හය දෙනෙකු අතුරුදන් වී තිබේ.

එරට වේලාවෙන් ඊයේ (26) පාන්දර 1.30ට පමණ එම අනතුර සිදුවිය.

වසර 47ක් පමණ පැරණි "Francis Scott Key" පාලමෙහි නෞකාව ගැටීමට සුළු වේලාවකට පෙර එම නැවෙහි විදුලිය විසන්ධි වී තිබුණි.

ඒ සම්බන්ධයෙන් හදිසි දැනුම්දීම් කිරීමට නැවෙහි කාර්ය මණ්ඩලය කටයුතු කර තිබූ අතර ඒ වනවිටත් පමා වී තිබුණි.

ඊට සුළු වේලාවකට පසුව නෞකාව පාලමෙහි ප්‍රධාන කණුවක ගැටුණි.

විදෙස් වාර්තා සඳහන් කළේ, අනතුරට ලක්වන අවස්ථාවේදී දී නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22කු එහි සිට ඇති බවය.

ඉන්දීය ජාතිකයින් වන සියලුදෙනාට කිසිදු අනතුරක් සිදුව නොමැති බව සඳහන්ය.

අතුරුදන් වූ පුද්ගලයින් සෙවීම සඳහා නෞකාව අනතුරට ලක්වූ ප්‍රදේශයේ කිමිදුම්කරුවන් විසින් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

අතුරුදන් වී ඇත්තේ පාලමේ නඩත්තු කටයුතුවල නිරතවෙමින් සිටි පිරිසක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

අධික ශීත කාලගුණය හා පාලමේ සුන්බුන් අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම්වලට බාධාවක් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම පුද්ගලයින් මේ වනවිට මියගොස් ඇතැයි අනුමාන කෙරේ.

menu
menu