දකුණු අප්‍රිකානු බිමේ ජය කෙළි නැංවූ චමරි අතපත්තු

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් හඹා ගොස් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බිහි කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වී තිබෙනවා.
ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිවයි.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 300ක ඉලක්කයක් හඹා ගොස් ජය ගැනීම විශේෂත්වයක්.
එවැනි දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් හඹා ගොස් ජය ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර ලකුණු 300 සීමාව පසු කළ පළමු අවස්ථාවද මෙයයි.
දකුණු අප්‍රිකාවේ පැවති මෙම තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම කඩුලු 05කට ලකුණු 301ක් රැස් කළා.
දක්ෂ පිති හරඹයක නිරත වූ නායිකා ලෝරා වොල්වෝර්ඩ් නොදැවී ලකුණු 184ක් රැස් කිරීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දු වාර 44යි පන්දු 03කදී ලකුණු 305ක් රැස් කරමින් තරඟය ජය ගත්තා.
ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වෙමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායිකා චමරි අතපත්තු පන්දු 139කදී නොදැවී ලකුණු 195ක් රැස් කළා.
ඊට 06 පහර පහක් සහ 04 පහර 26ක් ඇතුළත්.
එය සැළකුණේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් එක් දින පිටියේ රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
එමෙන්ම ලෝක කාන්තා එක්දින ක්‍රිකට් පිටියේ ක්‍රීඩිකාවක් රැස් කළ තුන් වන වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙය වනවා.
menu
menu