මන්නා රමේෂ් අද උදෑසන දිවයිනට

ඩුබායි රාජ්‍යයේ සැගව සිටියදී අත්අඩංගුවට ගැනුනු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්නා රමේෂ් හෙවත් රමේෂ් මිහිරංග නැමැත්තා අද උදෑසන දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
ඩුබායි රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ හරහා ඔහු මෙරටට රැගෙනවිත් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින්.
සැකකරු රතු වරෙන්තු මත ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව තිබුණා.
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් මන්නා රමේෂ් නැමැත්තා කටුනායක ගුවන් තොටුපොළ තුළ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
ඉන් අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමට නියමිත අතර ඉන්පසුව ඉදිරි විමර්ශන සඳහා එම සැකකරුව අවිස්සාවේල්ල පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.
අවිස්සාවේල්ල ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වූ අපරාධ කල්ලි සාමාජිකයකු වන මන්නා රමේෂ් නැමැත්තා අවිස්සාවේල්ල සහ අවට ප්‍රදේශවල ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීම්, තර්ජනය කිරීම් සහ මිනීමැරුම් ඇතුළු චෝදනා රැසක් එල්ලවී සිටින අයෙකු බවයි පොලිසිය පවසන්නේ.
menu
menu