ලෝක කුසලානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරිමේ සැළසුමක්

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අමෙරිකාවේ පැවැත්වෙන තරඟ සඳහා දැඩි ආරක්ෂාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ, හදිසියේ ඇතිවූ ත්‍රස්ත බියක් හේතුවෙන්. එහිදී වැඩිම අවධානයක් යොමු වී ඇත්තේ ජූනි 09වනදා පැවැත්වෙන ඉන්දු පාකිස්ථාන තරඟයටයි. එය පැවැත්වෙන්නේ අමෙරිකාවේ නිව්යෝර්ක්හිදීයි. මෙම ක්‍රීඩාංගනයේ ජූනි 03වනදා සිට 12වනදා දක්වා කාලය තුළ තරඟ 08ක් පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරඟය පැවැත්වෙන්නේද මෙම ක්‍රීඩාංගනයේයි. කෙසේවෙතත් එල්ල වී ඇති ත්‍රස්ත තර්ජනයේ ප්‍රබලත්වය පිළිබඳ අමෙරිකානු බලධාරීන් මෙතෙක් කිසිවක් ප්‍රකාශයට පත් කර නැහැ. ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ අයි එස් සංවිධානය විසින් මෙම තර්ජනය සිදු කර ඇති බවටයි. ඒ අනුව ආරක්ෂක විධවිධාන දැඩි කිරීම, පුද්ගල පරික්ෂා කිරීම් ඇතුළුව ඉහළ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව නිව්යෝර්ක් බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. තරඟාවලියට එක් වන සෑම දෙනාගේම ආරක්ෂාව තහවුරු කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද ප්‍රකාශ කර තිබෙනවා.
menu
menu