බහුතරය නැතත් තුන්වන වරටත් ඉන්දියාව මෝදිට



ඉන්දීය මහමැතිවරණයෙන් ජය ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් වුණා. එහෙත් මෙවර විශේෂත්වය වන්නේ ඔවුන්ට ඉන්දීය ලෝක් සභාවේ බහුතර බලය ලබා ගැනීමට නොහැකි වීමයි.

කෙසේවෙතත් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය පැවසුවේ ලැබූ මැතිවරණ ජයග්‍රහණයත් සමඟ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය පිහිටුවන බවයි.

නව රජයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා නරේන්ද්‍ර මෝදි නම් කරන බවද ඔවුන් පවසා තිබෙනවා.

ඒ අනුව තෙවැනි වතාවටත් නරේන්ද්‍ර මෝදි ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ඇති.

ඉන්දීය මහමැතිවරණය මෙවර පැවැත්වුණේ ලෝක් සභාවේ ආසන 543ක් සඳහා සභිකයින් තෝරා ගැනීමටයි.

එහි බහුතරය ලබා ගැනීමට නම් එක් පක්ෂයක් ආසන 272ක් ලබා ගත යුතුයි.

භාරතීය ජනතා පක්ෂය මෙවර මැතිවරණයට තරඟ වැදුනේ ආසන 400ක් දිනා ගැනීමේ අරමුණින්.

එහෙත් මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට හිමිව ඇත්තේ ආසන 240ක් පමණයි.

එය පෙර මැතිවරණයට සාපේක්ෂව ආසන 63ක අඩු වීමක්.

රාහුල් ගාන්ධි ප්‍රමුඛ ඉන්දීය ජාතික කොංග්‍රසය ආසන 99ක් දිනාගෙන තිබෙනවා. කෙසේවෙතත් එය පසුගියවර මැතිවරණයට සාපේක්ෂව ආසන 47ක වැඩිවීමක්.

මෙවර ඉන්දීය මහමැතිවරණය සඳහා මිලියන 600කට අධික පිරිසක් ඡන්දය භාවිත කළා. ඉන් හරි අඩකට ආසන්න පිරිස කාන්තාවන්.

මැතිවරණය සති 07ක් පැවැත්වුණා.

එය සැලකෙන්නේ ලෝක ඉතිහාසයේ දීර්ඝතම මැතිවරණය ලෙසයි.

තුන් වන වරටත් ඉන්දීය මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමේ සතුට සමරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනතාව අමතා තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ මෙම ජයග්‍රහණය ජනතාව ලැබූ ජයග්‍රහණයක් බවයි.

මෙය ප්‍රජාතන්ත්‍රවාදය ලැබූ විශාලතම ජයග්‍රහණයක් බවද ඔහු පවසා තිබෙනවා.

2019 වසරේදී පැවැති මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය සියයට 37යි දශම 36ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ආසන 303 ක් දිනා ගැනීමට සමත් වුණා.

එම ඡන්ද ප්‍රතිශතය 1989 වසරෙන් පසුව මහ මැතිවරණයකදී පක්ෂයක් ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතයද වුණා.

එහෙත් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මෙවර මැතිවරණය ජයග්‍රහණය කළත් පක්ෂයක් ලෙස 18 වැනි ලෝක් සභාවේ බහුතර බලය හිමිකර ගැනීමට භාරතීය ජනතා පක්ෂයට හැකියාවක් ලැබී නැහැ.

menu
menu