සුපිරි පන්දු වාරයේදී පකිස්ථානය පැරදූ අමෙරිකාවට 20යි 20 ජයක්

සුපිරි පන්දු වාරයේදී පාකිස්ථාන කණ්ඩායම පරදා මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 11වන තරඟය ජය ගැනීමට අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

“ඒ” කාණ්ඩය යටතේ දෙරට අතර පැවැති තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 159ක් රැස්කළා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම ද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 159ක්.

ඒ අනුව තරඟයේ ජය තීරණය කිරීම සඳහා දෙපිලටම සුපිරි පන්දු වාරයක් හිමිවුණා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 18ක් රැස්කළා.

පකිස්ථාන කණ්ඩායමට සුපිරි පන්දු වාරයේදී එක් කඩුල්ලක් දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 13ක් පමණයි.

menu
menu