පියුමි හංසමාලිගේ ගිණුම් 19 ක වාර්තා  කැඳවන්නැයි අධිකරණ නියෝගයක්

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිගේ මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08ක පවත්වාගෙන යනු ලබන ගිණුම් 19ක වාර්තා කැඳවීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා විසින් රහස් පොලිසියට අවසර ලබා දී තිබෙනවා.
රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් අනුවයි මෙලෙස බැංකු වාර්තා කැඳවීමට නියෝග නිකුත් කර ඇත්තේ.
‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා කළ පැමිණිල්ලක් අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා සහ උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත් බව පැවසෙන 'පියුමි හංසමාලී' නමැති නිරූපිකාව කොළඹ හිල්ටන් රෙසිඩන්ට් හි රුපියල් ලක්ෂ 800කට රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම, කොළඹ හත නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක නිවසක් මිලදී ගැනීම, කෙටි කාලයක් තුළදී ප්‍රධාන බැංකු අටක පවත්වාගෙන යන බැංකු ගිණුම් 19ක් හරහා කෝටි ගණනක් මුදල් තැන්පත් කිරීම ඇතුළු සැක සහිත ලෙස දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකෙරෙන බව සඳහන්.
menu
menu