ජාතික හැඳුනුම්පත  අලුත්  වෙයි ජනතාවට විශේෂ  දැනුම් දිමක්

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අවශ්‍ය කරන කාඩ්පත් ප්‍රමාණවත් පරිදි පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි පැවසුවේ දිනකට එක් දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් 1,500කට වැඩි ප්‍රමාණයක් නිකුත් කරන බවයි.

ප්‍රමාණවත් පරිදි එම කාඩ්පත් නොමැති වීම තුළින් සේවාවන් ලබා ගැනීමට පැමිණි ජනතාව අපහසුතාවට පත්ව ඇති බව සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ පුවත් පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා.

මේ අතර ජාතික හැදුනුම්පත් ලබාගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ හැකියාව තවදුරටත් පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය මාර්තු 31වන දින දක්වා ඒ සඳහා කාලය ලබාදී තිබුණ ද ජනතාව ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් කරන ලද ඉල්ලීම්වලට අනුව එම අවස්ථාව ජූලි මස 30 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

එමෙන්ම ජෛවමිතික දත්ත සහිත නව විද්්‍යුත් හැඳුනුම්පත හඳුන්වා දීම මෙම වසර අවසාන වන විට ආරම්භ කරන බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව පළමුවරට හැඳුනුම්පත් සඳහා අයදුම් කරන පුද්ගලයින්ට නව හැඳුනුම්පත ප්‍රථමයෙන් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ජාතික හැඳුනුම්පත් සඳහා අයදුම් කරන පාසල් සිසුන්ට දැනට තහවුරු කිරීමේ ලිපියක් පමණක් නිකුත් කරනු ලබනවා.

කෙසේ වෙතත් සියලුම පුරවැසියන්ට වසරක් ඇතුළත ජෛවමිතික දත්ත සහිත නව විද්්‍යුත් හැඳුනුම්පත ලබා දීමට අපේක්ෂා කරන බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි පැවසුවේ.

දැනට නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පතක් අස්ථානගත වී ඇති පුද්ගලයින්ට දැනට නිකුත් කරන වර්ගයේ හැඳුනුම්පතක් ලබා දීම සාමාන්‍ය පරිදි සිදු වනවා.

menu
menu