පාන් සහ සනීපාරක්ෂක තුවා වලබදු වැඩිකරපු  නිසා ජනතාව  පාර්ලිමේන්තුවේ ගිනි තියයි 05 දෙනෙකු  මරුට

කෙන්යාවේ නයිරෝබි අගනුවර පිහිටි එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට පිරිසක් ගිනි තබා තිබෙනවා.

ඒ, කෙන්යා රජය හඳුන්වා දී ඇති බදු යෝජනා ඇතුළත් නව මූල්‍ය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමඟ ඇති වූ විරෝධතා උත්සන්න වීමත් සමගයි.

විරෝධතාකරුවන් දස දහස් ගණනක් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදීමෙන් පසුවයි මෙලෙස පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ එක් කොටසක් ගිනි ගෙන ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාර්ලිමේන්තුවේ අභ්‍යන්තරයට දැඩි හානි සිදුව ඇති බවයි.

ව්‍යවස්ථාදායකයේ බලය සංකේතවත් කරන සෙංකෝලයද විරෝධතාකරුවන් විසින් සොරකම් කරනු ලැබ තිබෙනවා.

විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට කඩා වදින අවස්ථාවේ කෙන්යා ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරු එහි සිට ඇති බවටයි වාර්තා වන්නේ. ඔවුන් පිටතට ගෙන ඇත්තේ ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන්.

තත්ත්වය උත්සන්න වීමත් සමග වහාම හමුදාව කැඳවීමට කෙන්යා ජනාධිපති විලියම් රූටෝ තීරණය කළා.

ඒ අනුව විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ආරක්ෂක අංශ ජීව උණ්ඩ යොදා ගනිමින් වෙඩි තබා තිබෙනවා.

මේ වන විට නිකුත් වී ඇති නවතම වාර්තාවලට අනුව ඉන් මියගිය ඇති සංඛ්‍යාව 05ක්. තුවාල ලබා ඇති සංඛ්‍යාව 31කට අධිකයි.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය, කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරද එල්ල කර තිබෙනවා.

කෙන්යාවේ අධික ණය බරෙන් නිදහස් වීම සඳහා වත්මන් ආණ්ඩුව මෙම නව මූල්‍ය පනත ගෙන ආවා.

එමගින් අමෙරිකානු ඩොලර් බිලියන 2යි දශම 7ක අතිරේක බදු අය කර ගැනීමට අපේක්ෂිතයි.

කෙසේවෙතත් බදු ප්‍රතිසංස්කරණ ඇතුළත් මෙම නව මූල්‍ය පනත් කෙටුම්පතට එරෙහිව පසුගිය කාලය පුරා කෙන්යා වැසියන්ගේ විරෝධය පළ වුණා.

අදාළ කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සම්මත කළේ ඊයේ දිනයේයි.

විරෝධතාකරුවන් පවසන්නේ ජීවන වියදම් සම්බන්ධයෙන් අර්බුදයක් ඇති අවස්ථාවක බදු ඉහළ දැමීම කිසිසේත් නොකළ යුතු බවයි.

පාන් සඳහා සියයට 16ක බද්දක් මෙන්ම සනීපාරක්ෂක තුවා සඳහාද බදු ඉහළ නංවා ඇති බවටයි විරෝධතාකරුවන් චෝදනා කරන්නේ.

menu
menu