ජනපතිගෙන් සමගි ජන බලවේගයට සහ ජාතික ජන බලවේගයට දැනුම්දීමක්
රාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනා සිය ප්රතිපත්ති ප්රකාශනවලින් ඉවත් කර ගන්නා ලෙසත්, තමන් දැනටමත් එම කටයුත්ත ඉටු කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමගි ජන බලවේගයට සහ ජාතික ජන බලවේගයට පවසනවා
අනෙක් නායකයන් වේදිකාවල පොරොන්දු දී යන විට, තමන් සෑමවිටම වේදිකාවට පැමිණියේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කර බව පැවසු ජනාධිපතිවරයා අද මෙලෙස වේදිකාවට පැමිණ රාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩි කළ බව තමන්ට ප්රකාශ කිරීමට හැකිවනු ඇතැයි මීට වසර දෙකකට පෙර කිසිවෙකු නොසිතු බවද පවසා සිටියා.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (03) පැල්මඩුල්ල සතිපොළ භූමියේ පැවති “පුළුවන් ශ්රී ලංකා” විජයග්රාහී ජන රැලිය අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය
" රාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ වාර්තාව අද මට ලැබුණා.
එසේනම් මම අද මෙම වේදිකාවට පැමිණීයේ එක පොරොන්දුවක් ඉෂ්ට කරලයි.
මම පොරොන්දු දීලා යන්නේ නැහැ. පොරොන්දු ඉෂ්ට කර ඇවිත් ඒ බව කියනවා.
ඒ නිසා ඔබේ ප්රතිපත්ති ප්රකාශවලින් ඊට අදාළ යෝජනා ඉවත් කර ගන්නා ලෙස මම සමගි ජන බලවේගයට සහ ජනතා විමුක්ති පෙරමුණට කියනවා.
මීට වසර දෙකකට පෙර අප මේ රට භාර ගන්නා විට අද මෙලෙස වේදිකාවට පැමිණ රාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩි කළ බව ප්රකාශ කිරීමට හැකිවනු ඇතැයි කිසිවෙක් සිතුවේ නැහැ.
එදා මෙම කණ්ඩායම මා සමඟ බිය නැතිව මෙම අභියෝගය භාර ගත්තා.
විවිධ පක්ෂවල කණ්ඩායම් මා සමඟ එක් වුණා. රුපියල බේරා ගනිමින් රටේ අර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාමට අපට අසීරු තීරණ ගැනීමට සිදු වුණා.
අප මෙම පියවර නොගත්තා නම් අද අපට මෙම තත්ත්වයෙන් ඉන්න වෙන්නේ නැහැ.
ග්රීසිය මුහුණ දුන් තත්ත්වයට පත්වීමට සිදු වෙනවා.
අප 2023 වසරේදී අස්වැසුම වැඩසටහන ක්රියාත්මක කර ජනතාවට සහන ලබා දුන්නා.
ඒ වගේම 2024 වසරේ රජයේ සේවකයන්ගේ දීමනා ඉහළ නැංවීමට මෙන්ම ජීවන බර දරා ගත හැකි තත්ත්වයකට ගෙන ආවා.
මෙම වැඩකටයුතු මෙතනින් අවසන් වන්නේ නැහැ.
අප දළ දෙශීය නිෂ්පාදනය ඉහළ නංවා තවදුරටත් ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි.
මම මෙවර ජනාධිපතිවරණයේදී මා ඉල්ලා සිටින්නේ එම පියවර අනාගතය වෙනුවෙන් ගෙන යාමේ ජනවරමයි.
අපේ රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කර ගත යුතුයි. අප අවුරුදු 02ක් මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක කළා කියා තවම රටේ අර්ථික ස්ථාවරත්වය තහවුරු වී නැහැ.
නැවතත් මේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න පුළුවන්. ඒ නිසා අපට ඉදිරියට යාමට හැකියාව තිබෙන්නේ විධිමත් සැලැස්මක් ඔස්සේ පමණයි.
මැණික් කර්මාන්තය ශක්තිමත් කරමින් ශ්රී ලංකා මැණික් සඳහා ලෝකයේ තිබු තැන නැවත ලබා ගැනීමේ වැඩපිළිවෙළ පිළිබඳ අප සාකච්ඡා කළා.
ඒ වගේම පතල් කර්මාන්තකරුවන් රැක ගනිමින් ඔවුන්ගේ සුබසාධනය ඉහළ නැවීමේ වැඩපිළිවෙළක් ගැන අද අප සාකච්ඡා කළා.