තැපැල් ඡන්ද ප්‍රතිඵල ඇතුළත් ව්‍යාජ සමීක්‍ෂණ වාර්තාවක් අන්තර්ජාලයේ

තැපැල් ඡන්ද භාවිතා කිරීමට අදාළව ව්‍යාජ ලෙස සකස් කරන ලද වාර්තාවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය කරමින් පවතින බවට මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර තිබෙනවා.

ඔවුන්ගේ පැමිණිල්ලට අනුව, මෙම වාර්තාව සමාජ මාධ්‍ය තුළ සංසරණය කරමින් ඇත්තේ ජනාධිපති මාධ්‍ය අංශයේ, කරුණු සත්‍යාපනය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු බවටයි දැක්වෙන්නේ.

මෙවැනි ව්‍යාජව සකස් කරනු ලබන සමික්ෂණ වාර්තා මඟින් මැතිවරණයක පැවතිය යුතු සුජාතභාවයට බලවත් හානියක් ගෙන දෙන බව පැෆ්රල් සංවිධානයේ අදහසයි.

ජනාධිපති මාධ්‍ය ඒකකය වැනි වගකිව යුතු පිරිසක් විසින් මෙය සමාජ මාධ්‍ය තුළ සංසරණය කිරීම ගැටලුකාරී තත්ත්වයක් බවද අදාළ පැමිණිල්ලේ සඳහන්.

මෙවැනි ව්‍යාජ සමීක්ෂණ වාර්තා මඟින් ජනමතයට අනිසි බලපෑමක් එල්ල කිරීමට ඉඩ ප්‍රස්ථා ඇති බැවින් මුල් අවස්ථාවේදීම සුදුසු පියවර ගන්නා ලෙසයි පැෆ්රල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් හා පොලිසියෙන් ඉල්ලා ඇත්තේ.

කෙසේවෙතත් මෙම ව්‍යාජ සමීක්ෂණ වාර්තාව නිර්මාණය කළ තැනැත්තා කවුරුන්ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණ වී නැහැ.

menu
menu