කෙහෙළිය මුදා හරිනවා ද? නැද්ද? තීන්දුව දෙන දවස

රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදා හරින්නනේ ද? නැත්ද ? යන නියෝගය අගෝස්තු මස 01 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද නියෝග කළා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේ කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කළ පෙත්සමක් දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව නඩුවට අදාල ලිඛිත දේශන තිබේ නම් ඒවා ජූලි මස 15 වනදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පාර්ශව කරුවන්ට දැනුම් දුන්නා.

මෙම පෙත්සම සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන ප්‍රශ්නගත ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ ආරම්භයේ සිට අවසානය දක්වා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධයක් තිබෙන බව පෙන්වා දුන්නා.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව මෙවැනි ඖෂධ මිලදී ගැනීමක් සිදුකිරීමට හැකියාවක් නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සිද්ධියේදී තම සේවා දායකයා නිර්දෝෂී පුද්ගලයෙකු බවයි.

menu
menu