හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වෙඩි  තැබීමකින් ජීවිතක්ෂයට

අම්බලන්ගොඩ, කන්දමාවත ප්‍රදේශයේදී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය පිටුපස පාතාල සම්බන්ධයක් ඇතැයි වාර්තා වනවා.

මේ වන විට වාර්තා වන්නේ මිය ගිය පුද්ගලයා, දැනට ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටින පාතාල කල්ලි සාමාජිකයෙකුගේ ගෝලයෙකු බවයි.

ඔහු කොස්ගොඩ සුජී නම් පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු වන දසුන් මානවඩුගේ නමැත්තාගේ හිතවතෙකු බවටද වාර්තා වනවා.

මෙම වෙඩි තැබීම අහුන්ගල්ල ලොකු පැටීගේ පාර්ශවයෙන් සිදු වන්නට ඇති බවටයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයාට මීට පෙරද මරණ තර්ජන තිබී ඇතැයි සඳහන්. ඒ හේතුවෙන් ඔහු විදෙස් රැකියාවක් සඳහා ගොස් තිබූ බවද වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ නාඳුනන පුද්ගලයෙකු විසින් ගිනි අවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදු කර පලා ගොස් ඇති බවයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ සිය නිවසේ සිටියදීයි.

වෙඩි තැබීම සඳහා ගල් කටස් වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවටයි වාර්තා වන්නේ.

මිය ගොස් ඇත්තේ 41 හැවිරිදි කන්දමාවත ප්‍රදේශයේම පදිංචි ධම්මික නිරෝෂන නමැති හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

ඔහු ‘ජොන්ටි’ යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වන බවයි වාර්තා වන්නේ.

ඔහු 2002 වසරේදී වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමද නියෝජනය කර තිබෙනවා.

menu
menu